අතහිත

Friday, April 26, 2013

අවුරුද්ද සහ 350


"ඉරිදා.. අදවත් ගෙදර ගිහිල්ලා එන්න ඇත්නං..."

ඇදෙන්න බහින්නත් කලින්ම හිතුනේ එහෙම.. අවුරුද්දටත් ගෙදර හිටියේ දවස් දෙකයි නේද කියල මතක් වෙද්දි හිතට පුංචි දුකකුත් නොදැනුනා නං නෙවෙයි.. ඒත් අවුරුද්දට ගෙදර ගියෙත් දාහක් වැඩ රාජකාරි එහෙන් මෙහෙන් ඉවර කරලා.. ඒ අතරෙ රාජකාරි හිතමිත්තරයන් හතර දෙනෙක්ගේ අවමගුල් උත්සව හතරකට එක දිගට යන්න උන නිසා ඇගට තිබු‍නේ පුදුම තෙහෙට්ටුවක්.. කිව්වට කව්රුවත් විස්වාස නොකෙරුවත් මහනුවර, කොළඹ අන්තිමට අනුරාධපුරෙත් ගිහින් තමයි ගමන් කිරිල්ල නවතින්න උනේ.. අවුරුද්ද හින්ද කන්තෝරුවෙන් දොලොස්වෙනිදා නිවාඩු දුන්නා.. ඒත් අනුරාධපුරේ ගිහින් එන්න උනේ එකොළොස්වෙනිදා දවල් දොලහට.. කාමරේට එද්දි කාමර පේලියේ හැමෝම කලින්ම ගෙවල්වල ගිහින්.. වරුවක් වැඩ කරන්න තිබුනත් ඇගට තිබුන මහන්සිය තෙහෙට්ටුව හින්දා කන්තෝරුවට ගිහින් බො‍රුවැඩ කරනවට හොදයි ගෙදර යන එක කියලා හිතලා ගෙදර ගියේ.. ඒත් දොලොස්වෙනිදා දවල් වෙනකල් නිදා ගත්තු එක තමයි කරේ.. 

දවල් වෙලා ගේ වටේ පොඩ්ඩක් ඇවිදලා බැළුවට මුළු වත්තම මගේ දිහා බැළුවේ මං හරියට අවුරුද්දට ගෙදර‍ට ආපු අමුත්තෙක් දිහා බලන විදිහට.. අඩුතරමේ ගෙදර ඉන්න බලු පැටියා පවා මගේ දිහා බැලුවේ අමුතු විදිහට.. ඇත්ත.. මාසේ දවස් තිහෙන් විසිඅට හමාරක් විතර කන්තෝරුවේ ඉදල බෝඩිං කාරයෙක් වගේ ගෙදර ඇවිත් ගියාම ඔය වගේ දැනෙන්න ඕනි තමයි.. ගිය මාසෙටම ගෙදර හිටියේ දවස් දෙකයි.. ඒකත් රෑට නිදාගන්න වෙලාවට විතරක් ද කොහෙද.. වෙලාවකට මේ රස්සාවල් ඔක්කෝම දමල ගහල ගෙදර ඉන්නත් හිතෙනවා.. ඒත් ගෙදර නතර උනා කියන එකෙන් පාඩු‍වක් වෙන්නේ මටමමයි නේද කියලා හිතෙන හින්දයි අම්මටයි තාත්තටයි කරදරයක් වෙන්න හිත දෙන්නේ නැති හින්දම රාජකාරිය වෙනුවෙන් මේ විදිහට මහන්සි වෙන්නේ.. 

අවුරුද්දට වේලස්සනම මාසෙ පඩියයි ලබන මාසේ පඩියයි දෙකම හම්බුන හින්දා පොඩ්ඩක් විතර ඔළුව කෙලින් කරන් ඉන්න පුළුවං තත්වෙක හිටියා.. ඒ ගැන පොඩි සතුටක් හිතේ තිබුන හින්දා අම්මගේ අතට සල්ලි ටිකක් දු‍න්නේ කැමති දෙයක් කරන්න කියලා.. දවල් වෙද්දි ගෙදරට අඩුපාඩු වෙලා තිබුණ බඩු කලමනා එක්කම අවුරුද්දට ඕනි කරන දේවල් ටිකත් අරන් ඇවිත් ගේ පොඩ්ඩක් අස් පස්කරලා දැම්මේ අම්මට හැමදාම මේ වදේ දෙන්න බැරි හින්දා.. මෙදා පාර මහලොකු අවුරුද්දක් ගන්න ඒ හැටි කැමැත්තක් කාටත් තිබුනේ නෑ.. ලොකුතාත්තා ගිය අවුරුද්දේ අපෙන් සමුගත්තා.. ඒ මතකයත් එක්ක වෙනදා තරම් වත් අවුරුද්දක් ගන්න හිත දුන්නේ නෑ.. ඒ හින්දම පරණ අවුරුද්ද දවසේ ලොකු අම්මා බලන්න ගියේ නමට මේසෙට තියන්න කැවැලි ‍ජාති දෙකතුනකුත් අරන්.. ගියපුගමන් ලොකු අම්මා මාව බදාගත්තු වෙලේ ඒ ඇස් වලින් ගලාගෙන ගියේ පපුවේ අගිස්සේ තිබ්බ උණු කදුලු බිංදු මට කිව්වේ ඒ තනිකමේ වේදනාව.. අත්තම්මවත් පොඩ්ඩක් හම්බුවෙලා දන්න කියන යාළුවෝ දෙන්නෙක්ගෙත් ගෙවල් වලට ගොඩ වෙලා ආපසු ගෙදරට එද්දි පරණ අවුරුද්ද ඉවර වෙන්නත් ළං වෙලා.. අවුරුද්ද දවසේ චාරිත්තර ටික කරල සමන් දේවාලේ වැදගන්නත් ආසාවක් ආව හින්දා තාත්තවත් ඇදගෙන රත්නපුරේ ගිහින් එන අතරමගදි තවත් නෑදෑකෙනෙකුගේ ගෙදරට ගොඩඋනා.. අපි ආපු එක ඒ මිනිස්සුන්ට කොච්චර ලොකු සතුටක් ගෙනාවද කියල ඒ හැම දෙනාගෙම මූණු වල තිබුණ හිනාවෙන්ම තේරුණා.. දවාලට එහෙන්ම කෑම අරන් හැන්දෑවේ ගෙදරට ආව.. සඳුදා දවසේ තමයි පවුලේ එකමුතුව.. පවුලේ හැමෝම මහගෙදර ආවේ අත්තම්මා බලනවට වඩා ලොකු අම්මා බලන්න.. ලොකු තාත්ත නැති අඩුව හැමෝටම තදින්ම දැනුනත් කව්රුත් ඒ ගැන කථා ක‍ලේ නැත්තේ ඒ හැම දේකින්ම ලොකුඅම්මගේ හිත තවත් බිදෙන හින්දා..

හම්.. අගරුවාදා ඉදං ආයෙම යුද්දේ පටන් ගන්න ඕනි හින්දා සදුදා රෑම දුකෙන් උනත් පිටත් වෙන්න උනා.. එදා ඉදං හිතේ දැගළුවේ ආයෙම ගෙදර යන්නෙ කවදද කියලා.. ඒත් ‍ඒ සති අන්තේ තවත් වැදගත් දවසක් කියන දේ මතක් උනේ පස්සෙයි..

හිතට එකගව ඉරිදා එන්න නම් එන්න මගේ තුන් හිතකවත් අදහසක් තිබුනේ නෑ.. ඇත්තටම ආවේ ඇයිද කියන කාරනේ ගැන මම තාමත් හිතනවා.. හුගාක් අය කථා කරල එන්න කිව්වට මගේ හිත කිව්වෙම යන්න එපා කියලා.. ඇත්ත. යන්න තරම් හයියක් මටත් තිබුනේ නෑ..

හේතුවක් නොදන්න හිතට ආපු ක්‍ෂණික අයිඩියා එකක් හින්දා උදේ නවේට දහයක් විතර තියෙද්දි බයික් එක හරෝගත්තේ කොළඹ එන්න.. ඔව්.. කොළඹ එනකම්ම කල්පනා කර කර ආවේ ඇයි මම මේ ගමන යන්නේ කියලා.. 

අනිවාර්යෙන්ම මං දන්නවා මං කොළඹට කිට්ටු වෙද්දි පෙරහැරේ බාගයක් විතර ගිහින් ඉවරයි කියලා.. බස් එකට නැග්ගනං පෙරහැරේ කොනක්වත් දකින්න වෙන්නේ නැති හින්දමයි කොච්චරක් දුර උනත් බයිසිකලේටම නැග්ගේ.. මයිලෝ පැකට් එකක් බොන්න විතරක් නවත්තලා පැය තුනෙන් මහරගම.... 

පාරේ කොනක බයිසිකලේ නවත්තලා ජැකට් එක පිටින්ම ඇතුලට ආවේ කකුල් වෙව්ලද්දි.. හිත ගැහුනා මහ හුගාක්.. කකුල් ඉස්සරහට යනවට වඩා පස්සට ගියා කිව්වොත් හරි.. හෙමින් සැරේ අඩියෙන් අඩිය තියලා ඇතුල් වෙද්දි බස් එකේ සෙට් ‍එක ඈතට ඇහෙන්න ගත්තා.. හම්.. දැං ඉතිං මොන ආපසු හැරිල්ලක්ද..

පඩිපෙල බහින්නේ නැතුව පොඩ්ඩක් වෙලා ඇස් දෙක කරකවලා බැළුවේ කව්රු කව්රුද ඇවිත් ඉන‍්නේ කියලා.. ගොඩාාාාක් ඇවිත්. අනේ මෙන්න ආපු ගමන්ම කට්ටිය පොටෝ ගහනවා.. ජැකට් එක පිටින්ම‍ පෝලිමක අයිනට ආවේ ස්කූබියගේ පිටට තට්ටුවක් දාන ගමන් මයි..

මේන් එන්නේ නෑ කිව්ව එකා ඇවිත්.. ස්කූබිය කියද්දි මං ආ‍පු එක ඇත්තටම වැරදියි කියලා නොහිතුනාම නෙවෙයි.. කොහේද ඉදං ආපු සෑමාත් ඇවිත් කතා කලේ රෙජිස්ටර් වෙයන් නැත්තං කන්නත් නැතිවෙයි කියලා.. ශෂියයි දුලානයයිත් ළගටම ඇවිත් කථා කරා.. ඒත් එක්කම දොස්තර මහත්තයා, රාජ් ලොක්කා, මදාරා, ශම්මි, නාඩියා එහෙමත් කථා කරා..  සමරු කලාපේ ගන්න ගිහින් දාං ආපු සන්ගලාස් කුට්ටමත් නැති කොරගෙන ටික වෙලාවක් යද්දි මට තේරෙන්න ගත්තා හිටියා ඇති වගේ කියලා.. කාටත් හරිහපං විදිහට කථා කරන්න බැරි උනාට සොරි වෙයල්ලා.. තව අටම් අයියත් ඔය අස්සක ඉදං කථා කරා නේ.. කිය කියා ඉන්න ගියොත් යන්න වෙන්නේ නැති නිසා හෙමින් සීරුවේ ආයෙමත් එන්න පටන් ගත්තා.. රෙජිස්ට්‍රේෂන් එකේ හිටි මලයයි, රාජ් ලොක්කයි, දොස්තර මහත්තයටයි ගේට්ටුව ගාවදි ආයෙමත් කථා කරලා ආපහු ගමන පටන් ගත්තේ මගේ ඇස් දෙක විතරක් පාරට හරෝලා මුළු ඔළුවම වෙන දිහවක ගෙනහිල්ලා.. 

නාරාහෙන්පිටට ගිහින්, කොටුවට ආවේ කොහොම කියලා හරි මතකයක් තාමත් නෑ.. ඒ එද්දි දන්න කියන තවත් මළගෙයක්.. එකක් නෙවෙයි එකම පවුලේ තුන් දෙනෙක්.. ගෙදරට ගොඩවෙන්න වෙලාවක් නැති හින්ද යාළුවෙක් අතේ එහෙට පණිවිඩේ යවලා ආයෙම රෝද දෙක හරෝ ගත්තේ හතර හමාරට විතර.. පරණ පාරෙ කොට කොටා, දූවිලි කකා ආවේ මහරගම පැත්තෙන් ගියොත් හිතට තවත් බරක් එකතු වෙයි කියලා.. 

වතුර උගුරක් බොන්නවත්, සීට් එකට තද වෙලා ඇදුං කන පශ්චාද් ප්‍රදේශයට නිවනක් දෙන්නවත් නතර කරන්නේ නැතුව එක හුස්මට ආපහු එන ගමන් ෆුඩ් සිටියකට ගොඩ උනේ පොඩි බෙලෙක්කයක් ගන්න.. ඒකත් බෑග් එකට දාගෙන කාමරේ පේන කිට්ටුවකට ඇවිත් උගුරට දෙකට ඒක හලාගන මැරෙනවං මැරෙද්දෙන් කියලා පට්ට හීතලේම නාගෙන ඇදට වැ‍ටුනේ අද දවසේ උනේ මොනාද කියල කල්පනා කරන ගමන්... දොයියන්න කලින් මීටරේ බලද්දි කිලෝමීටර් 356ක්.. හම්..

මගෙන් වැරැද්දක් උනා ඒකට සමාවෙන්න.

හම්බුවෙලත් කතා බහ නොකරට තරහ ගන්ට එපා ඔන්න. කියන්නේ නැතුව ගියාටත් තරහ අවසර. ආවේ ඇයිද කියල විතරක් අහන්ට එපා.. මං තාම දන්නේ නෑ ඇයි කියලා...

හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

(මෙතුවක් කාලයක් රූල් දෙකතුනක් ටයිප් කරලා මකලා දාපු පෝස්ට් ගාන විස්සකට කිට්ටයි.. ඒත් එක දිගට මෙච්චර ටයිප් කරේ කොහොමද කියලා මටත් හිතා ගන්න අමාරුයි..)

මොනව උනත් ලෝකෙ වටේ ඉන්න කාණ්ඩෙ මේ විදියට එක්කාසු කරපු සංවිධායක මන්ඩලේ හැමෝටම රස්තියාදුකාරයාගේ ආචාරය..!

පොටෝව නිළ වෙබ් අඩවියෙන්..


Post a Comment