අතහිත

Monday, January 28, 2013

සුපිරිම දවසක කුජීත අවසානය


උදේ පාන්දර තුනට ඇහැරුනේ ඔළුව උස්සගන්න බැරි ඔළුවෙ කැක්කුමක් එක්ක. ඒ මොනව තිබ්බත් කොහේ හිටියත් දාගත්තු වැදගත් වැඩක් තියෙනවා කියන රිමයින්ඩර් එක කෑගහන්නේ ඊයේ ඉදලා.. ඔය ඔක්කොමත් එක්ක අසනීපෙට ඕනි මගුලක් වෙන්න කියලා නැගිටලා වොෂ් එකක් එහෙම දාගෙන, කවදාකවත් කරන්නේ නැති උනත් රෑ මැදපු ෂර්ට් එකත් ඇගට දාගෙන සුපුරුදු ඩෙනිමත් දාගෙන සපත්තු කටු දෙකත් දාගෙන පාරට බැස්සා.. පාරට බැස්ස කිව්වට බැහැපු ගමන් තියෙන්න මහ පාර එහෙම නෙවෙයි.. කිලෝමීටර් දෙකකට අඩු නැති පොඩි දුරක් තියෙන්නේ.. පින්න කඩාගෙන පාරට ආවට පස්සේ ඔන්න ඉතිං බෙල්ලෙ පොට යන කං බලං ඉන්න වෙලාව.. ඈතින් හොදට හුරු පුරුදු වයිකින් එන්ජිම සද්දෙයක් ඇහෙන්න ගත්තා.. ඉහේ මල් වත්තක් පිපුණ වගේ.. ඒත් සද්දෙ ලං වෙන්න ලං වෙන්න මල් වත්තෙ මල් එකින් එක පරවෙන්න පටන් ගත්තා.. ආවේ බස් එකක් නෙවෙයි.. දෙකක්... රේස් එකක!!! ඒ ඉලව්ව හින්ද බස් දෙකෙන් එකක් වත් නතර කලේ නෑ.. දැං ඉතිං මොනා කරන්නද.. ටිකක් වෙලා ඉන්දැද්දි මටම හිතුනා ඊලග බස් එකටත් මේ සෙතේම වෙන්න කලින් ලගම තියෙන ටවුමට පැන්නොත් හොදයි කියලා... ටවුමට යනකොටම රේස් ආපු බස් එකක් නතර කරන් ඉන්නවා.. ආයෙත් පුංචි බලාපොරොත්තුවක් මතු උනා වගේ උනා.. ඒත් කරුමෙ කියන්නෙ මං ආපු බස් එකෙන් බහිනවත් එක්කම ඒකත් ඇද්දා.. ‍එක්ස්ප්‍රස් බස් එකක් පස්සේ දුවන්න කියලයැ.. ටික වෙලාවක් යද්දි නිල් පාට ස්ටිකර් ගහපු බස් දෙකතුනක්ම ආවා.. ඒ එකකවත් වාඩි වෙන්න තියා පා-පුවරුවෙන් ඇතුල් වෙන්න වත් ඉඩක් තිවුනේ නෑ.. වැඩිපුර ගානකුත් දීලා පුට්බෝට් යන්න ඕනි නෑනේ.. අනික ඒ වෙද්දි යන්න හිතං ආපු වෙලාවල් ඔක්කොම කචල් වෙලා නේ.. උන්නත් දාහයි මලත් දාහයි වෙලා වගේ.. ටික වෙලාවක් යද්දි රතු පාට බස් එකක් ආවා.. පොඩ්ඩක් විතර සෙනග නං හිටියා.. ඒත් තවත් පරක්කු උනොත් මොකුත් නැති වෙයි කියල බයට ඒකෙ එල්ලුනා.. රස්තියාදුකාරයා‍ ලේසියකට සීටිබී බස් එකකට නගින්නේ නැ දුර ගමන්වලට.. හේතු කාරනා කියන්න ඕනි නෑ නේ, යන ‍/ නොයන අය දන්නවානේ.. පූරුවෙ පිනකට වගේ ටික දුරක් යද්දිම වාඩි වෙන්න තැනක් හම්බුනා.. පිටිපස්සෙම සීට් එකේ මැද ආසනේ.. ඒකත් වෙලාව.. අඩු පඩු දිග උනාකියල කාටවත් හරිහැරයක් නොවෙන්න යන්න පුළුවන්නේ කියලා.. තවත් පොඩ්ඩ දුරක් යද්දි සීට් එකේ හිටි තවත් දෙන්නෙක් බැස්සා.. (මං හින්ද නං නෙවෙයි ඕං..) ඊලගට වාඩි උනා පොඩි ළමයෙක් වඩාගත්තු අම්ම කෙනෙක්.. පොඩි දරුවගේ අතේ බොහොම බයානක බාන්ඩයක් තිබුනා... ෂොපින් කවරයක්.. 

මම ෂොපින් ඇලජික් පර්සන් කෙනෙක් නෙවෙයි.. ඒත් ෂොපින් යූස් කරන දේට නං පට්ට ඇලජික්.. අම්ම පොඩි එකා අල්ලං හිටිය විදිහද පොඩි එකී හැරිලා හිටිය විදිහද මන්දා මං ඉන්න පැත්තටයි කවරෙ තියෙන්නේ.. මගේ කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා. ගමන පටන් ගත්තු වෙලේම මගින් බහින්න වෙනවා කියන්නේ කොච්චර සන්තෝස ආරංචියක්ද.. 

වාසනාවටද අවාසනාවටද මන්ද තවත් පොඩ්ඩ දුරක් යද්දිම තවත් හුරතල් පොඩි එකෙක් වඩාගෙන තාත්තෙක් නැග්ගා.. වාඩි වෙන්න සීට් එකක් තියා පාපුවරුවෙන් උඩට ආවෙත් බෝම අමාරුවෙන් ඒ තරම් සෙනග.. දෙපාරක් හිතන්නේ නැතුව සීට් එක පූජා කරලා කොළඹට එනකංම පාපුවරුවේ එල්ලිලා ආවා.. සීටීබී උනාට බස් එකේ ගමන නං සිම්පල් නෑ.. හිතුවටත් වඩා කලියෙන් බස් එක කොළඹට ආවා.. 

ඒ ගමන් නැන්දලාගේ ගෙවල් ‍පැත්තට ඔළුවක් එහෙම දාලා පොඩි වොෂ් එකක් කාරිය දාගෙන නැග්ගා නිට්ටඹුව බස් එකකට ගම්පහ යන්න.. ඒකත් බෝම වේගෙන් ආව. අන්තිමේදී දහය හමාරට විතර අපිටත් ඔය ගෙට්ටුව තිබ්බ මල් වත්තට ඒ ගන්න පුළුවං උනා..

ගෙට්ටුව ගැන හැමෝම කථා කරන හින්ද මං ඒ ගැන කථා කරන්න යන්නේ නෑ. ඒත් සෑහෙන යාළුවෝ සෙට් එකක් අදුනගන්න අවස්ථාව හම්බුනා.. බ්ලොග් වලින්, බුකියෙන් දැන අදුනගෙන උන්නට කව්රුවත් රෑපෙන් දැකල තිබ්බෙ නෑ නොවැ.. -කීප දෙනෙක් ඇර-

කෝමින් කෝම හරි ආතල් ක්‍රිකට් මැච් එකක් එහෙමත් බලලා (කැච් මිස් කරපු එවුන් ගැන විස්තර කියන්නේ නෑළු..) තෝප්පිත් දාල, සින්දුත් කියලා - ආ.. මගේ කඨෝර සද්දේ අහං හිටියට මගේ ඉත්තූතිය- අමතක කරන්න බැරි දවල් කෑමකුත් කාලා මල් වත්තෙත් පොඩි රවුමක් දාලා ආපසු එන්න පිටත් උනා.. 

හිතං ආපු බස් එකටම ගොඩවෙන්න චාන්ස් එකක් සෙට් උනා.. හැමදාප දකුණු පැත්තෙ පිටි පස්සෙ සීට් එකේ වාඩි වෙන්න පුරුදු වෙලා හිටි මං බෙල්ලෙ කැක්කුමක් හින්ද වම් පැත්තෙ දෙකේ සීට් එකකයි වාඩි උනේ.. කොළඹින් පිටත් උන බස් එන නුගේගොඩට එන්න විනාඩි හතලිහක් ගියා.. 138වත් මෙච්චර වේගෙන් යන්නේ නැද්ද කොහේද.. පන්නිපිටිය හරියට එද්දි අවුරුදු 30ක විතර ඩයල් එකක් නැගල මගේ දකුණු පැත්තෙ සීට් එකෙන් වාඩි උනා.. මාත් ඉතිං හීනියට මැසේජ් පාරක් දදා හිටි හින්දද මන්ද පොරත් ෆොන් එකක් ඇදල අරං කඩාලන්න පටන් ගත්තා.. මහරගම හරියට එද්දි නං ඩ්‍රයිවර් තුමාට ඇක්සලේටරයක් තියෙනවයි කියල මතක් වෙන්න පටන් අරන් තිබ්බේ.. රාත්තිරියේ හින්දා වැඩි තදබදයක් නැති පරේ බස් එක නං අසූවට කිට්ටු කරල පාගන්න පටන් අරන් තිබ්බේ.. මහන්සිය වැඩි කමටම ජනේලෙ සම්පූර්ණ ඇ‍රගෙනම සීට් එකේ පිටි පස්සට හේත්තු වෙලා පොඩි නින්දක් දැම්මා.. ටික වෙලාවක් යද්දි එකපාරම අමුත්තක් දැනුනා..
අහෝ ඛේදයකි ඉරි ගණනාවකි.. තිත් ගණනාවකි.. 

මගේ එහාපැත්තෙ හිටි හාදයා හෝටයක් දාලාය.. මගේ කලිසමේ, ඉස්සරහ සීට් එකේ හිටි උන් දෙන්නාගේ උරිස්සටත් නොමිලේ කෑම පාර්සල් හම්බුනේය.. ඕක දැක්ක කොන්දාට තදවෙලා ඌත් අර පොරට බනින්න පටන් ගත්තා.. දැං ඉතිං මොනව කරන්නද.. අසනීපයක් හින්ද මොකුත් කියන්නත් බෑ. කිව්වයි කියල වෙච්ච වැඩේ නවත්තන්නත් බෑනේ.. බොන්න අරගත්තු වතු‍ර බෝතලේ අරං පිටිපස්සෙ ෆුට් බෝඩ් එකට ගිහින් යාන්තං කලිසමයි අත් දෙකයි පොඩ්ඩක් සෝද ගෙන බස් එකෙන් බහිනකංම  ෆඩ් බෝඩ් එකට වෙලා එන්න සිද්ධ උනා.. මොනව කරන්නද.. පට්ට හීතලේ වෙව්ල වෙව්ල, අසූවට විතර යන බස්‍ එකක අප්පිරියාවෙන් එල්ලිලා යන්න උනාම.. තනියක් නං දැනුනේ නෑ.. ඉස්සරහ සීට් එකේ හිටපු දෙන්නත් ඇවිත් ෆුට් බෝඩ් එකේමයි ගියේ.. 

රෑ එකට විතර බස් එකෙන් බැහලා කාම‍රේට ඇවිල්ලා කනෙන් දුං දාන හීතලේ නාගෙන රෙදි ටිකත් සෝදන්න රින්සො දාලා මං එනකං ඇහැරං බලං උන්නු අයවත් නිදිකරවලා ඇදට වැටෙද්දි රෑ දෙකයි හතලිස් පහයි.. ඔන්න ඔහොම තමයි රස්තියාදුව ගෙවිලා ගියේ..

කාලයක් තිස්සේ සයිබරෙන් දැක්ක යාළුවො ටික එකට සැට් කොරපු සෑමා, සිරා ඇතුළු කා‍ණ්ඩෙටම බොහෝම ස්තූතියි..

ක්‍රිකට් ගහල දිනපු සිංහයාටයි අනෙක් සහෝදරයටයි සුභපැතුම්..

ගීතෙන් ගීතෙ තරගෙ ජයග්‍රහණය කරපු සෑමට උණුසුම්ම උණුසුම් සුභ පැතුම්!!

ඇත්තෝ කෑවෝය බිව්වෝය - නැත්තෝ වැළපුණෝය..

-
-රස්තියාදුකාරයා-

පලි: දෙනෝදාහක් ජනකාය පිරි බස්රථයකම අවාධානය ක්‍ෂණයෙන් වෙනස් කරවපු කම්මුල් පාරක් දකින්නටත් රස්තියාදුකාරත් පිං කොරල තිබ්බාලු ඔන්න..
Post a Comment