අතහිත

Monday, January 28, 2013

සුපිරිම දවසක කුජීත අවසානය


උදේ පාන්දර තුනට ඇහැරුනේ ඔළුව උස්සගන්න බැරි ඔළුවෙ කැක්කුමක් එක්ක. ඒ මොනව තිබ්බත් කොහේ හිටියත් දාගත්තු වැදගත් වැඩක් තියෙනවා කියන රිමයින්ඩර් එක කෑගහන්නේ ඊයේ ඉදලා.. ඔය ඔක්කොමත් එක්ක අසනීපෙට ඕනි මගුලක් වෙන්න කියලා නැගිටලා වොෂ් එකක් එහෙම දාගෙන, කවදාකවත් කරන්නේ නැති උනත් රෑ මැදපු ෂර්ට් එකත් ඇගට දාගෙන සුපුරුදු ඩෙනිමත් දාගෙන සපත්තු කටු දෙකත් දාගෙන පාරට බැස්සා.. පාරට බැස්ස කිව්වට බැහැපු ගමන් තියෙන්න මහ පාර එහෙම නෙවෙයි.. කිලෝමීටර් දෙකකට අඩු නැති පොඩි දුරක් තියෙන්නේ.. පින්න කඩාගෙන පාරට ආවට පස්සේ ඔන්න ඉතිං බෙල්ලෙ පොට යන කං බලං ඉන්න වෙලාව.. ඈතින් හොදට හුරු පුරුදු වයිකින් එන්ජිම සද්දෙයක් ඇහෙන්න ගත්තා.. ඉහේ මල් වත්තක් පිපුණ වගේ.. ඒත් සද්දෙ ලං වෙන්න ලං වෙන්න මල් වත්තෙ මල් එකින් එක පරවෙන්න පටන් ගත්තා.. ආවේ බස් එකක් නෙවෙයි.. දෙකක්... රේස් එකක!!! ඒ ඉලව්ව හින්ද බස් දෙකෙන් එකක් වත් නතර කලේ නෑ.. දැං ඉතිං මොනා කරන්නද.. ටිකක් වෙලා ඉන්දැද්දි මටම හිතුනා ඊලග බස් එකටත් මේ සෙතේම වෙන්න කලින් ලගම තියෙන ටවුමට පැන්නොත් හොදයි කියලා... ටවුමට යනකොටම රේස් ආපු බස් එකක් නතර කරන් ඉන්නවා.. ආයෙත් පුංචි බලාපොරොත්තුවක් මතු උනා වගේ උනා.. ඒත් කරුමෙ කියන්නෙ මං ආපු බස් එකෙන් බහිනවත් එක්කම ඒකත් ඇද්දා.. ‍එක්ස්ප්‍රස් බස් එකක් පස්සේ දුවන්න කියලයැ.. ටික වෙලාවක් යද්දි නිල් පාට ස්ටිකර් ගහපු බස් දෙකතුනක්ම ආවා.. ඒ එකකවත් වාඩි වෙන්න තියා පා-පුවරුවෙන් ඇතුල් වෙන්න වත් ඉඩක් තිවුනේ නෑ.. වැඩිපුර ගානකුත් දීලා පුට්බෝට් යන්න ඕනි නෑනේ.. අනික ඒ වෙද්දි යන්න හිතං ආපු වෙලාවල් ඔක්කොම කචල් වෙලා නේ.. උන්නත් දාහයි මලත් දාහයි වෙලා වගේ.. ටික වෙලාවක් යද්දි රතු පාට බස් එකක් ආවා.. පොඩ්ඩක් විතර සෙනග නං හිටියා.. ඒත් තවත් පරක්කු උනොත් මොකුත් නැති වෙයි කියල බයට ඒකෙ එල්ලුනා.. රස්තියාදුකාරයා‍ ලේසියකට සීටිබී බස් එකකට නගින්නේ නැ දුර ගමන්වලට.. හේතු කාරනා කියන්න ඕනි නෑ නේ, යන ‍/ නොයන අය දන්නවානේ.. පූරුවෙ පිනකට වගේ ටික දුරක් යද්දිම වාඩි වෙන්න තැනක් හම්බුනා.. පිටිපස්සෙම සීට් එකේ මැද ආසනේ.. ඒකත් වෙලාව.. අඩු පඩු දිග උනාකියල කාටවත් හරිහැරයක් නොවෙන්න යන්න පුළුවන්නේ කියලා.. තවත් පොඩ්ඩ දුරක් යද්දි සීට් එකේ හිටි තවත් දෙන්නෙක් බැස්සා.. (මං හින්ද නං නෙවෙයි ඕං..) ඊලගට වාඩි උනා පොඩි ළමයෙක් වඩාගත්තු අම්ම කෙනෙක්.. පොඩි දරුවගේ අතේ බොහොම බයානක බාන්ඩයක් තිබුනා... ෂොපින් කවරයක්.. 

මම ෂොපින් ඇලජික් පර්සන් කෙනෙක් නෙවෙයි.. ඒත් ෂොපින් යූස් කරන දේට නං පට්ට ඇලජික්.. අම්ම පොඩි එකා අල්ලං හිටිය විදිහද පොඩි එකී හැරිලා හිටිය විදිහද මන්දා මං ඉන්න පැත්තටයි කවරෙ තියෙන්නේ.. මගේ කකුල් දෙකත් වෙව්ලන්න ගත්තා. ගමන පටන් ගත්තු වෙලේම මගින් බහින්න වෙනවා කියන්නේ කොච්චර සන්තෝස ආරංචියක්ද.. 

වාසනාවටද අවාසනාවටද මන්ද තවත් පොඩ්ඩ දුරක් යද්දිම තවත් හුරතල් පොඩි එකෙක් වඩාගෙන තාත්තෙක් නැග්ගා.. වාඩි වෙන්න සීට් එකක් තියා පාපුවරුවෙන් උඩට ආවෙත් බෝම අමාරුවෙන් ඒ තරම් සෙනග.. දෙපාරක් හිතන්නේ නැතුව සීට් එක පූජා කරලා කොළඹට එනකංම පාපුවරුවේ එල්ලිලා ආවා.. සීටීබී උනාට බස් එකේ ගමන නං සිම්පල් නෑ.. හිතුවටත් වඩා කලියෙන් බස් එක කොළඹට ආවා.. 

ඒ ගමන් නැන්දලාගේ ගෙවල් ‍පැත්තට ඔළුවක් එහෙම දාලා පොඩි වොෂ් එකක් කාරිය දාගෙන නැග්ගා නිට්ටඹුව බස් එකකට ගම්පහ යන්න.. ඒකත් බෝම වේගෙන් ආව. අන්තිමේදී දහය හමාරට විතර අපිටත් ඔය ගෙට්ටුව තිබ්බ මල් වත්තට ඒ ගන්න පුළුවං උනා..

ගෙට්ටුව ගැන හැමෝම කථා කරන හින්ද මං ඒ ගැන කථා කරන්න යන්නේ නෑ. ඒත් සෑහෙන යාළුවෝ සෙට් එකක් අදුනගන්න අවස්ථාව හම්බුනා.. බ්ලොග් වලින්, බුකියෙන් දැන අදුනගෙන උන්නට කව්රුවත් රෑපෙන් දැකල තිබ්බෙ නෑ නොවැ.. -කීප දෙනෙක් ඇර-

කෝමින් කෝම හරි ආතල් ක්‍රිකට් මැච් එකක් එහෙමත් බලලා (කැච් මිස් කරපු එවුන් ගැන විස්තර කියන්නේ නෑළු..) තෝප්පිත් දාල, සින්දුත් කියලා - ආ.. මගේ කඨෝර සද්දේ අහං හිටියට මගේ ඉත්තූතිය- අමතක කරන්න බැරි දවල් කෑමකුත් කාලා මල් වත්තෙත් පොඩි රවුමක් දාලා ආපසු එන්න පිටත් උනා.. 

හිතං ආපු බස් එකටම ගොඩවෙන්න චාන්ස් එකක් සෙට් උනා.. හැමදාප දකුණු පැත්තෙ පිටි පස්සෙ සීට් එකේ වාඩි වෙන්න පුරුදු වෙලා හිටි මං බෙල්ලෙ කැක්කුමක් හින්ද වම් පැත්තෙ දෙකේ සීට් එකකයි වාඩි උනේ.. කොළඹින් පිටත් උන බස් එන නුගේගොඩට එන්න විනාඩි හතලිහක් ගියා.. 138වත් මෙච්චර වේගෙන් යන්නේ නැද්ද කොහේද.. පන්නිපිටිය හරියට එද්දි අවුරුදු 30ක විතර ඩයල් එකක් නැගල මගේ දකුණු පැත්තෙ සීට් එකෙන් වාඩි උනා.. මාත් ඉතිං හීනියට මැසේජ් පාරක් දදා හිටි හින්දද මන්ද පොරත් ෆොන් එකක් ඇදල අරං කඩාලන්න පටන් ගත්තා.. මහරගම හරියට එද්දි නං ඩ්‍රයිවර් තුමාට ඇක්සලේටරයක් තියෙනවයි කියල මතක් වෙන්න පටන් අරන් තිබ්බේ.. රාත්තිරියේ හින්දා වැඩි තදබදයක් නැති පරේ බස් එක නං අසූවට කිට්ටු කරල පාගන්න පටන් අරන් තිබ්බේ.. මහන්සිය වැඩි කමටම ජනේලෙ සම්පූර්ණ ඇ‍රගෙනම සීට් එකේ පිටි පස්සට හේත්තු වෙලා පොඩි නින්දක් දැම්මා.. ටික වෙලාවක් යද්දි එකපාරම අමුත්තක් දැනුනා..
අහෝ ඛේදයකි ඉරි ගණනාවකි.. තිත් ගණනාවකි.. 

මගේ එහාපැත්තෙ හිටි හාදයා හෝටයක් දාලාය.. මගේ කලිසමේ, ඉස්සරහ සීට් එකේ හිටි උන් දෙන්නාගේ උරිස්සටත් නොමිලේ කෑම පාර්සල් හම්බුනේය.. ඕක දැක්ක කොන්දාට තදවෙලා ඌත් අර පොරට බනින්න පටන් ගත්තා.. දැං ඉතිං මොනව කරන්නද.. අසනීපයක් හින්ද මොකුත් කියන්නත් බෑ. කිව්වයි කියල වෙච්ච වැඩේ නවත්තන්නත් බෑනේ.. බොන්න අරගත්තු වතු‍ර බෝතලේ අරං පිටිපස්සෙ ෆුට් බෝඩ් එකට ගිහින් යාන්තං කලිසමයි අත් දෙකයි පොඩ්ඩක් සෝද ගෙන බස් එකෙන් බහිනකංම  ෆඩ් බෝඩ් එකට වෙලා එන්න සිද්ධ උනා.. මොනව කරන්නද.. පට්ට හීතලේ වෙව්ල වෙව්ල, අසූවට විතර යන බස්‍ එකක අප්පිරියාවෙන් එල්ලිලා යන්න උනාම.. තනියක් නං දැනුනේ නෑ.. ඉස්සරහ සීට් එකේ හිටපු දෙන්නත් ඇවිත් ෆුට් බෝඩ් එකේමයි ගියේ.. 

රෑ එකට විතර බස් එකෙන් බැහලා කාම‍රේට ඇවිල්ලා කනෙන් දුං දාන හීතලේ නාගෙන රෙදි ටිකත් සෝදන්න රින්සො දාලා මං එනකං ඇහැරං බලං උන්නු අයවත් නිදිකරවලා ඇදට වැටෙද්දි රෑ දෙකයි හතලිස් පහයි.. ඔන්න ඔහොම තමයි රස්තියාදුව ගෙවිලා ගියේ..

කාලයක් තිස්සේ සයිබරෙන් දැක්ක යාළුවො ටික එකට සැට් කොරපු සෑමා, සිරා ඇතුළු කා‍ණ්ඩෙටම බොහෝම ස්තූතියි..

ක්‍රිකට් ගහල දිනපු සිංහයාටයි අනෙක් සහෝදරයටයි සුභපැතුම්..

ගීතෙන් ගීතෙ තරගෙ ජයග්‍රහණය කරපු සෑමට උණුසුම්ම උණුසුම් සුභ පැතුම්!!

ඇත්තෝ කෑවෝය බිව්වෝය - නැත්තෝ වැළපුණෝය..

-
-රස්තියාදුකාරයා-

පලි: දෙනෝදාහක් ජනකාය පිරි බස්රථයකම අවාධානය ක්‍ෂණයෙන් වෙනස් කරවපු කම්මුල් පාරක් දකින්නටත් රස්තියාදුකාරත් පිං කොරල තිබ්බාලු ඔන්න..

Tuesday, January 15, 2013

මව් ඇසින් නැගුණු කඳුළු

ජීවත් වීම වෙනුවෙන් රැකියාව කිරීම සහ රැකියාව වෙනුවෙන් ජීවත් වීම කරන දෙකොට්ටාසයක් ඉන්නවා.. අපි එයින් කොයි ගොඩට අයිති වෙනවාද කියන අපිම තීරණය කරන්න ඕනි. අපිට ඕනි විදිහට අපේ රැකියාව කරනවාද නැත්තං රැකියාවට ඕනි විදිහට අපි ජීවත් වෙනවද කියල දැන ගැනීම වැදගත්.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ උසස් අධ්‍යාපන වගේ දේවල් වලට යොමුවෙන ගොඩ දෙනෙක් ගේ අවසන් අරමුණ වෙන්නේ තමන්ගේ අධ්‍යාපනයට සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් හොයා ගැනීම. ඔය කාරණේ අපේ ජීවත වල වැදගත්ම අංශයක් වෙනවා පහු පහු වෙද්දි.. අපේ තෝර ගැනීම හරි ‍ගියොත් අපේ ජීවිතේ සාර්ථක වෙනව වගේම පොඩ්ඩ එහා මෙහා වෙලා වැරදුනොත් මුළු ජීවිතේම එකම අවුල් ජාලයක් වෙනව. උදාහරන ගැන මම අමුතුවෙන් කියන්න යන්නේ නෑ. අපි අපේම ජීවිත ගැන ආපස්සට හැරිල බලද්දි ‍තේරෙනවා මම මේ කියන දේ ගැන.  රැකිය කරන උදවියටයි කිව්වේ.. ;)

රැකියාවල නිරත වෙන ගොඩ දෙනෙකුට ‍අද වෙනකොට ඇති‍ වෙලා තියෙන එක පොදු රෝග තත්වයක් තියෙනවා.. ඒ මානසික ආතතිය. මේක ස්වයං රැකියාවක ඉදං මහ ඉහල පුටුවල ඉන්න කෙනාටත් එක ම විදිහට දැනෙන දෙයක්..  මේ මානසික ආතතිය ඇතිවෙන්න ගොඩ වෙලාවට බලපන්නේ රැකියාවෙන් ලැබෙන අතෘප්තිමත්භාවය වගේ දේවල් කියලයි රස්තියාදුකාරයා දකින්නේ .. අනික තමන් කොච්චර හොද කලත් ඒ කිසිම දේකට ඇගයීමක් නැති වෙද්දි, තමන් අතින් සිද්ධවුනු පුංචි වරදක් වෙනුවෙන් විශාල දඩුවමකුත්, ඒ වැරැද්ද හැමදාම කරන කෙනෙකුට කිසිම දඩුවමක් නොදි සේවයේ තබා ගැනීම, සේවයේදී අත්‍යාවශ්‍ය පුද්ගලයින් වෙනුවට බත් බැලයන් වෙනුවෙන් උසස් නිලධාරීන් පෙනී සිටීම වගේ ගොඩාක් දේවල් දක්වන්න පුළුවං.

අද මේ ‍තෙපර බෑවේ මගේ රැකියා ජීවිතේ දි සිද්ධ වෙච්ච අමතක නොවෙන සිදුවීමක් කියන්න. අද වෙනකොට රස්තියාදුකාරය කරන්නේ ජීවිත කාලේම ඉගෙන ගෙන කරන්න බලාපොරොත්තු වෙච්ච රස්සාවක් නෙවෙයි.. එහෙමත් නැත්තං තුං හිතකවත් තිබුන රස්සාවක් නෙවෙයි. ඇත්ත. මෙතන වැඩට ආපු මුල් අවධියේදි මට ඔය මුලින් කිව්ව හැම කාරණයක් නිසාම රස්සාව ගැන අන්තෙටම කලකිරිලා හිටියේ.  ඒත් එක්කම මහතැන්වල සිද්ධඋන කඹ ඇදිල්ලක ප්‍රතිපලයක් විදිහටත් එක එකාගේ කේලාම් වල ප්‍රතිපලයක් විදිහට නොසිතූ නොපැතූ  අභ්‍යන්තර ස්ථානයකට මාරුවක් හම්බුනා. ඒක ගැන ඇත්තටම මගේ හිතේ තිබුනේ බොහොම නොකැමැත්තක්. ම‍ම පුද්ගලිකව කෙනෙක්ගෙන් ඇහුවොත් අනාගතේදි කරන්න කැමති රස්සාව මොකක්ද කියල ඇහුවාම එයාල දෙන උත්තරේට අමතරව තවත් උත්තරයක් දෙන්න පුරුදු උනේ මේ නිසා..

ගොඩාක් වෙලාවට තමුන් හිතන පතන, බලාපොරොත්තුවෙන සිහින මවන රස්සාවක් තමුන්ට ලැබෙන්නෙ නෑ. ඒ ලැබුනත් ලැබෙන දේ ඇතුලේ තියෙන්නේ තමන් අපේක්‍ෂා කරපු දේ නෙවෙයි කියල දැනුනාම තවත් ලොකු මානසික අගාදෙකටම තමන්ට වැටෙන්න සිද්ධ වෙනවා.. ඒ නිසා තමන්ට ලැබෙන්නේ මොන රස්සාවද ඒ රස්සාව තුලින්ම තමන්ගේ සැනසීම හොයාගන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඇතිවෙන ඉච්ඡාභංගත්වයෙන් වැ‍ඩ අවුල් කරගන්නවට වඩා හොදින් රස්සාව කරන්න පුළුවං. මම මේ කිව්වේ සේවා ආයතනයට හෝ තමන්ගේ පුද්ගලිකත්වයට  කැලලක් වෙන දේවල් ගැන නෙවෙයි. සමහර පුංචි අවස්ථා වලට පුළුවං ඔය වගේ ලොකු දේවල් කරන්න. ලැබෙන පුංචි තේ විවේකයකදි වැඩකරන අනිත් අයත් එක්ක තේකක් / කෝපි එකක් බොන ගමන් සුහද කථාබහකින් ගොඩාක් වෙලාවට එහෙම චූටි ෆන් එකක් ගන්න පුළුවං..

ඔය කිව්ව තියරිය මට ආවේ මගේ ආදරණීය තාත්තගෙන්.. මම රස්සාව එපා වෙලා අස්වීමේ ලියුමත් අරං ගෙදර ඇවිත් මූනත් ඇඹුල් කරගෙන මේ කාරනේ කතා කරද්දි තාත්ත කිව්වේ මේ උඹේ ජීවිතේ අවසානේ නෙවෙයි. අනික ඒ වෙද්දි මම දැනං හිටියේ නෑ මට කරන්න තියෙන්නේ මොන වගේ දේවල්ද කියල වත්.. තාත්ත කිව්වේ උඹට අපි කවදාවත් පස්සට යන්න ඉගැන්නුවේ නෑනේ.. ඒ නිසා පොඩි කාලයක් ඉන්න. ඉන්නම බෑයි කියල විතරක් තේරුනොත් ඕක දෙන්න කිව්වා.. ඒ වගේම ඒ කාලේ මගේ හිටි ආයතන ප්‍රධානියාට මම අස්වීම දුන්න ගමන් එතුමා මගෙන් විස්තර කථා කරලා කිව්වේ මම මීට කලින් කාට වත් මේ වගේ දෙයක් කියල නෑ. මේ ලියුමෙන් ඔයාගේ රස්සාව නැති උනොත් ඒ ගැන මම වගකියන්නෙත් නෑ. අනික ඕනිම තැනකට අනුගත වෙන්න පුළුවං පුද්ගලයෙක් වෙන්න ඕනි රස්සාවකදි. ඒනිසා මම තව එකපාරක් ඔයාට අවස්ථාව දෙන්නම් කිව්වා හිතල බලන්න..

එදා ආපස්සට ගත්තු ලියුමට මේ වෙද්දි අවුරුදු දෙකකටත්  වැඩි කාලයක් වෙනවා.. 

එදා ඒ මගේ ආපසු ගත්තු කකුල ගැන මම සෑහෙන්න කාලයක් පසුතැවුනා.. ඒත් කථාවට කියන ළිදට වැටුන මිනිහා ලිං කටෙන්ම ගොඩ එන්න ඕනි කියන්න වගේ මමත් අළුත් තැනට පුරුදු පුහුණු වෙන්න පටන් ගත්තා.. අන්තිමේදි අළුත්ම සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණා. ඒවගේම හිටි තැනට වඩා ගොඩාක් හොදින් මිනිස්සුත් එක්ක කථාබහ කරල ඉන්න අවස්ථාව ලැබුනා. ඒ නිසා මම ඒ ගැන සතුටු වෙනවා..

මං ගැන පුරාජේරු ගැහුවා ඇති.. දැං කථා නායකය දිහාට හැරෙන්න ඕනි..

මීට මාස නවයකට විතර කලින් අපේ ශිෂ්‍යයෙක් මාව හම්බවෙන්න ඇවිත් ඇහුවා මැගසින් එකක් ඩියසින් කරගන්න පුළුවංද කියලා.. මමත් රාජකාරි මට්ටමින් ඒ වගේ දෙයක් කෙරෙන්න ඕනි කොහොම ද කියල කියල ඒ විදිහට එන්න මම මට කරන්න පුළුවං උපරිමේ කරල දෙන්නම් කිව්වා..

කිව්වත් වගේම පහුවදාම මගේ මේසේ උඩ ලියුම තිබ්බා.. ප්‍රධානීන්ගේ  ඇප්රුවල් එහෙමත් ලැබිලා තිබුනා. දවල් දොලහට විතර ඔන්න මේ හාදය එනවා.. මං ලිපි ටික එකතු කලා. මේ ටික ඩිසයින් කරගන්න තමයි තියෙන්නේ.. මමත් ඕනි කරන විස්තර ටික අහල වැඩේ පටන් ගත්තා.. පිටු දෙකතුනක් හැදුවට පස්සේ පොරට ඕනි උනා ප්‍රින්ටවුට් එකක්. ඒ වැඩෙත් කරල දුන්නාම අපේම ආයතනේ වැඩකරන සාහිත්‍යධ‍රයෙකුට ‍මේක පෙන්නලා..  හපොයි දෙයියනේ ඒ හාදයා හැම එකක්ම වෙනස් කරලා.. 

දැං ඉතිං මොනව කරන්නද.. මගේනෙ  වැරැද්ද.. ඩිසයින් කරන්න කලින් මමත් අහන්න ඕනි නේ සෝදුපත් බලලද තියෙන්නේ කියලා.. මං ඇහුවට පස්සේ කිව්වේ ඔව් කියලා.. ඉතිං ඊට වැඩි දෙයක් මට අවශ්‍ය නෑනේ කියලයි මමත් වැඩ පටන් ගත්තේ.. බැලින්නං වැඩේ කෙ‍රිලා තියෙන්නේ ප්‍රොෆෙෂනලස්ල අතින් නෙවෙයි.. දැං ඉතිං මොනව කරන්නද.. පිටු විසි ගානක සගරාව අයෙම කොනක ඉදං හදන්න උනා.. ඔහොම උනේ එකපාරක් නෙවෙයි.. තුන් හතර පාරක් වෙනස් කරන්න උනා.. ඒ අතරේ මේ හාදය මාත් එක්ක බොහොම කුළුපග උනා.. අන්තිම හරියෙදි මට අසනීපයක් වෙලා නිවාඩු දාල ගෙදර ගිහින් ඉන්න වෙලාවටත් කෝල් දීලා වැඩේ හරිද කව්ද්ද ගන්න පුළුවං වගේ අහන ගානට ආවා.. ඔය ඔක්කොම අතරේ මමත් දහ පාරක් විතර වෙනස් කරලා සගරාව හදල දුන්නා.. 

ඒත් එතනින් වැඩේ ඉවර උනේ නෑ.. ‍මේ හාදයා මේ වැඩේට ගත්තු උත්සාහය ගැන වචනයක් කියන්නම ඕනි. මේ හීනේ අද ඊයේ දැකපු එකක් නෙවෙයි.. අවුරුදු තුනක විතර ඉතිහාසයක් තියෙන වැඩක්.. ඒ කාලේ ඉදං ලිපි ලියලා යාළුවන්ගෙන් එකතු කරලා සෑහෙන්න ලොකු ගේමක් දීලා තියෙනවා.. ඊට පස්සේ ඩිසයින් කරගන්න වැඩෙයි මුද්‍රණය යි ගැන හිතල තියෙන්නේ.. එතනට තමයි මම ඈදුනේ.. කොහොම හරි මුල ඉදං හදපු එකා මම හින්දා මං දැක්ක දෙයක් තමයි මට වැඩි හරියක් වෙනස් කරන්න උන එක පිටුවක් තිබුනා.. ඒතමයි මුල් පිටුව.. එහෙමත් නැත්තං සංස්කරන කමිටුව.. සමහර වෙලාවට උදේට එක නමක් අරන් එනවා.. අයෙම හවස් වෙද්දි හති දාගෙන දුවං එනවා තව නමක් අයින් කරන්න කියලා.. මේකෙදි මම දැක්ක දේ තමයි මේ දරුවගේ තිබ්බ ඉලක්කය සහ අධිෂ්ඨානය.. වැඩේ දවසින් දවස පහුවෙද්දි මුලදි උන්නු කස්ටිය එකා දෙන්න හැලෙද්දි, අනිත් උන්ගෙන් බයිට් වෙද්දිත් උත්සාහය අතාරින්නේ නැතුව, ප්‍රෙස් එකක් ප්‍රෙස් එකක් ගානෙ ගිහින් රස්තියාදු වෙවී අන්තිමේදි කිහිප දෙනෙක් එක්ක එකතුවෙලා කතෘ ප්‍රකාශණයක් විදිහට සගරාව එලි දක්වනකං මං ඇත්තටම හිතුවේ මේ මනුස්සයා නිදා ගත්තේ නැද්ද කියලා.. මහ රෑටත් වෙලාවකට කථා කරල කියනවා අයියේ මේක වෙනස් වෙන්න ඕනි. අර ෆොටෝව වෙනුවට මේක දාන්න ඕනි අරදක මේකද.. ඒත් ඒ මොනම දේකටවත් මට කේන්ති ‍ගියේ නෑ.. ඇත්තටම අපිට කරන්න බැරි දෙයක් මේ මනුස්සයා කරනවා නේද කියලා මට හිතුනා.. ඒත් එක්කම මේ දරුවට තිබ්බ උනන්දුවයි කැපවීමයි දකිද්දි අම්බානක වැඩ ගොඩගැහිල තිබ්බත් බෑ කියල කියන්න මගේ දිව නැමුනේ නෑ.. 

අන්තිමේදි සගරාව මුද්‍රණය කරල ආවට පස්සේ මගදි මාව හම්බෙලා මටත් සගරාවක් දීලා මම වැඩේ කර කියලා කියද්දි ඒ මුනේ තිබ්බ ජයග්‍රාහී හිනාව මට අදටත් මතකයි.. එතනින්න නැවතුනේ නෑ වැඩේ.. 

ගොඩදෙනෙක්ගේ අවවාද ඇතුව බොහොම ලස්සනට සංවිධානය කරපු මුහුරත් උළෙලක් පවත්වලා ඒ දරුවගේ අම්මටයි තාත්තටයි සගරාව පිළිගැන්නුවා.. රස්තියාදුකාරාටත් ආරාධනා පත්‍රයක් ‍එවන්න අමතක කරල තිබුනේ නෑ.. එදා උදේ පාන්දරම මගේ ඔපිසියට ඇවිල්ල තගකුත් දැම්මා ආවෙ නැත්තං බලාගමු කියලත් ;) 

උත්සවේදි ඒ දරුවා ‍ බොහොම අපූරු කථාවක් කලා.. පටන් ගත්තේ නං මට මෙහෙම කථා කරන්න බෑ කියලා. ඒත් ටික වෙලාවක් යද්දි හිතේ හිර වෙලා තිබ්බ අදහස් එක එක ලස්සනට එලියට එද්දි එයාටම තේරිලා ද කොහෙද හිටි ගමන් "දැං නං කථා කරන්න පුළුවං වගේ" කියල කියන්න ත් අමතක කලේ නෑ.. අන්තිමේදි සගරා එලිදැක්වීමේදී ඒ දරුවගේ අම්මට සගරාව පිළිගන්නලා දණ ගහල වදිද්දි ඒ අම්මගේ ඇස් කොනේ තිබ්බ දිලිසෙන කදුළු බිංදුව මම පැහැදිලිව දැක්කා.. ඒ කදුලු බිංදුවේ ගැබ් වෙලා තිබ්බේ අසීමිත දරු සෙනෙහස ඉතිරෙන අභිමානය.. මගේ දරුවා මෙහෙම ලොකු දෙයක් කලා නේද කියන අභිමානය ඒ දිලිසෙන කදුලු බිංදුවේ ගැබ් වෙලා තිබුනා...

මවකගේ ඇසින් දරුවෙක් වෙනුවෙන් කඳුලක් ‍වැටෙන අවස්ථා දෙකක් තියෙනවා.. දරුවගේ වැරැද්දක් නිසා හදවතේ ගැඹුරුම තැනින් ඇතිවෙන වේදනාත්මක කදුල සහ තමන්ගේ කුසෙන් බිහිකරපු දරුවෙක් සමාජේ ඉහලට යනවා දකිද්දි ඒ අභිමානෙන් නැගෙන කදුල.. 

මේ කිව්ව දෙවනියට නැගෙන කදුලු බිංදුවක් ඇති කරන්න පුළුවං උනා නං ඒ දරුවා ගොඩාක් වාසනාවන්තයි කියල මං නං හිතන්නේ.. 

රස්තියාදුකාරයාගේ රස්සාවේදි උදේ ඉදං රෑ‍ වෙනකං ඇස්‍ දෙකේ ලේ නහර ඉලිප්පෙනකං මොනිටරයක් දිහා බලං ඉදලා ඉවර කරගන්න බැරි උන දෙයක් තියෙනවානං ගෙදර උස්සං ගිහින් හදල දුන්නට අවසානයේ ලැබෙන දෙයක් නෑ. ඒත් මේ උත්සවේ වෙලාවේදි ඒ ආදරණීය මෑණියන්ගේ ඇසේ නැගිච්ච කදුළු බිංදුව තුලින් මගේ හැම අතෘප්තිමත් බවක්ම අකාමාකා දාල රැකියා ජීවිතේ දී ලබන්න පුළුවං ලොකුම සතුට/ තෘප්තියක් ලබන්න මට පුළුවං උනා.. 

නාමල් ජයසිංහ සංස්කාරකවරාය, දිගු ගමනකට ආසිරි..

අරමුණු පැහැදිලි කරමින්...
 

Tuesday, January 1, 2013

බැරි වැඩ කොරපන් අබරෝ!

නත්තල් නිවාඩුවට ගෙදර ආපු වෙලේ ඉදං ලැ‍ප දාගෙන විකාර කර කර ඉන්නේ නැතුව ඉන්න කියල අම්මගේ ගොරණාඩුව අහන් ඉන්න බැරිම තැන රස්තියාදුකාරයා‍ තාත්තක් එක්ක එක්කාසු වෙලා උදේ පාන්දරම වත්තට බැහැල පස් කණ්ඩියක් කපන්න පටන් ගත්තා.. ඇත්තම කිව්වොත් උදැල්ලක් අලවංගුවක් ඇල්ලුවේ සෑහෙන කාලෙකට පස්සේ..  වැඩ කරන්න පටන් අරගත්තු පළවෙනි දවසෙම වගේ තාත්ගෙන් බැනුං අහගත්තු එකමයි කලේ.. ඔහොම කරන්න එපා පුතේ උදැල්ල කකුලේ වදියි.. අලවංගුවෙන් ගහද්දි කකුල ඈතින් තියාගන්න.. ඕවට බැනුං කියන්නත් බෑ.. සේව්ටි රූල්ස් ව‍ගේ. කරදඩු උස්මහත් උනාට තාත්තටත් වඩා අගලක් විතර උස උනාට තාත්තට තාම මං පොඩි එකානේ.. කොයිවෙලෙත් මගේ ආරක්සාව ගැන හොයනවා.. කොහොම හරි හිතපු තරං වැඩේ ගොඩදාගන්න බැරි උනා.. දවසකට කිලෝමීටර් දෙකක් විතර දුවල, පැයක් දෙකක් දාඩිය දාන්න සෙල්ලං කරාට වත්තෙ පිටියේ වැඩක් කරගන්න බෑයි කියල තේරුණා.. පැයක් යන්න කලිං දාඩිය දාල ෂර්ට් එක ගලවල පැත්තක් අල්ලං හති අරිද්දි පොඩි පොඩි හින්ට් එහෙම ගහන්නත් තාත්තා අමතක කලේ නෑ.. 

ඔය කියන ඔක්කොමත් අහගෙන දවස් දෙක තුනක් දත කාගෙන වැඩ කරලා කරන්න තිබ්බ වැඩෙන් බාගයක් කරල ඉවර කරගන්න පුළුවං උනා. පළවෙනි දවස් දෙක සුභදායකව ගෙවිල ගියා.. ඒත් අන්තිම දවස නං එච්චර හොද දවසක් උනේ නෑ.. හිටි ගමන් කොන්දේ ඇති වෙච්චි වේදනාවක් හින්ද කර කර හිටි හැම වැඩක්ම අතරමග නවත්තන්න සිද්ධ උනා.. ඇත්තටම මට මං ගැන පුදුම ලැජ්ජයි අෆ්ෆා. කොච්චර අපිට ෆිට්නස් තියෙනවයි කියල හිතං හිටියට වැඩක් කරන්න ගත්තට පස්සෙයි තේ‍රෙන්නේ  ඇති මගුලකුත් නෑ, දන්න දේකුත් නෑ කියලා.. කොන්ද අල්ලං පැත්තකට වෙලා ඉන්දැද්දි තාත්ත බොහොම ලක්සන කථාවක් නං කිව්වා.. 

"උදේ ඉදං රෑවෙනකං කොම්පියු‍ටරේ ඉස්සරහ වාඩි වෙලා කොටකොටා හිටියට විතරක් මදි, මේ වගේ වත්තෙ පිටියෙ බැහිල වැඩක්-පලක් කරන්නත් පුළුවං වෙන්න ඕනි පුතේ".

ඇත්ත අපි ඉන්න තැන් අනුව අපිට කරන්න වෙන වැඩත් එකිනෙකට වෙනස් වෙනවා.. ඒ වගේම ඕනිම වැඩක් කරන්නත් අපිට ‍ඒ වෙලව අනුව සිද්ධ වෙනවා..

අනිත් කාරනේ අපේ පැරණි කියමනක් තියනවා බැරි වැඩ නොකරන් අබරෝ කියලා.. මේ කිව්වෙ අබරට උනාට අද වෙද්දි මේක කොයි කාටත් නිතරම කියවෙන දෙයක්.. කාටහරි දෙයක් බැරි වෙච්චි ගමන් ව‍ටාපිටාවේ ඉන්න උං බලන් ඉන්නේ ඇද්ද උඹට කියන්න.. එහෙමත් නැත්තං තැන තැන අරූ මෙහෙම වැඩක් කරන්න ගිහින් අනාගෙන ඉන්නවා කියල කියනවා.. ඇයි අපි මේ මොනව හරි කරන්න ගිය මිනිහටම බනින්නේ.. දෙයක් කරන්න හදන මිනිහටම බනින්නේ?

සමහර විට ඒ දේ කරපු මිනිහා කරපු වැරැද්දකින් හරි මොනම දේකින් හරි අවසානයේ උත්සාහය සාර්ථක අසාර්ථක වෙන්න පුළුවං. ඒත් ඒ පුද්ගලයා කරපු "උත්සාහය" කියන දේට සැලකිල්ලක් කව්රුත් දක්වන්නේ නැත්තේ ඇයි..? 

-රස්තියාදුකාරයා මේ කියන්නේ සූරාව සූදුව ගැන නොවන බව තරයේ සිහිතබා ගන්න-

අපේ වැරැද්ද එතන..

අද අපි මේ පාවිච්චි කරන කිසිම දෙයක් එකපාර ඇති වෙච්ච දේවල් නෙවෙයිනේ.. අවුරුදු ගනන් උත්සාහ කරල, දස දහස් වාරයක් වැරදිලා තමයි අද අපි මේ පාවිච්චි කරන දේ ලැබිලා තියෙන්නේ..

අපේ ජීවිතත් ඒ වගේ. ජීවිතේ නියම අර්ථය මොකක්ද කියල හොයන්න අපේ බුදුපියාණන් වහන්සෙත් සාරා සංකල්ප කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරල, බුදුවුන ආත්ම භවයෙත් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කරල තමයි නිවන අවබෝධ කරගත්තේ.. ඉතිං අපේ උත්සාහයන් ගැන තවත් කවර කථාද?

අද අළුත් අවුරුද්දක් ලැබුවා. ඉලක්කමෙන් අළුත් ඒත් සුපුරුදු දවස්ම තියෙන අවුරුද්දක්.. මේ අවුරුද්ද අපි අපේ පැරණි කියමන වෙනස් කරමු.

"බැරි වැඩ කරපං අබරෝ !"

කව්රුහරි ශ්‍රෙෂ්ඨ උත්තම‍යෙක් (මතක විදිහට ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ද කොහෙද.. වැරදි නං නිවැරදි කරන්න) අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියල බො‍හොම වැදගත් කියමනක් කිව්වේ මෙන්න මේ කරුණ හින්ද.

උත්සාහවන්තයා ජයගනී. Try and try , One day you can fly. වගේ කියමන් කියැවිලා තියෙන්නේ මෙන්න මේ කියන අභිප්‍රේරණය ලබා දෙන්න තමයි.. 
(අපි අනන්තවත් මේ කථාව කිව්වට මේ කිසි දෙයක් ප්‍රායෝගිකව කරන්නේ නෑ නේද??)

ඉතිං මේ ලැබුවාවූ අළුත් අවුරුද්ද අපි කරන්න බැරි දේවල් කරන්න උත්සාහ කරමු.. ගේ දොර පොඩ්ඩක් හදන්න හිතං ඉන්න උදවිය අඩුතරමේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අත්තිවාරමක් වත් දාගන්න උත්සාහ  කරමු. අධ්‍යාපනය ලබන අය තමන්ගේ අධ්‍යාපන කටයුතු කලින් කලාට වැඩිය හොදින් කරන්න උත්සාහ කරමු. රැකියාවක නියැලිලා ඉන්න කෙනෙක් නං රැකියා ස්ථානයට (රැකියා ස්ථානයේ ඉන්න අයට නෙවෙයි) ආදරෙන් පහුගිය වසරේ කලාට වඩා වැඩි යමක් මේ වසරේදි කරන්න උත්සාහ කරමු. පවුල් පන්සල් වෙලා ඉන්න උදවියත් තමන්ගෙන් සහකාරය හෝ සහකාරියට, දරුවන්ට සහ පවුලට කලින් සැලකුවට වැඩිය හොදින් සලකන්න උත්සාහ කරමු. ‍

කෙනෙක් තර්ක කරන්න පුළුවං මේ හැම දේම කරන්න සල්ලි ඕනි. ඒක නැතුව මොකුත් කරන්න බෑ වගේ දේවල් කියන්න පුළුවං. ඇත්ත, අද වෙද්දි සල්ලි නැතුව මොකුත්ම කරන්න බෑ තමයි..
 
ඒත් සල්ලි කියන්නේ ජීවිතේ නෙවෙයි.. සල්ලි කියන දේ අද තියෙන්න පුළුවං හෙට වෙද්දි නැති වෙන්න පුළුවං. ඒත් තමුන්ගේ පවුලේ ආදරේ, සතුට සමගිය වගේ දේවල් සල්ලි මත්තේ යැපෙන්න තියාගන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න. එතකොට තමුන්ට සල්ලි ඇතිදා වගේම නැතිදාටත් දුක සතුට බෙදා ගන්න කෙනෙක් හරි ඉන්නවා කියලා හිතට ලොකු සැනසීමක් දැනේවි.

රූපෙ ගත්තේ : http://photo.elsoar.com/2013-wallpaper-hd.html


ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්න ලැබුවා වූ 2013 අවුරුද්ද හැමොටම සතුට සමාදානය සපිරුණු, නිදුක් නිරෝගී චිරජීවනයෙන් සපරි, අළුත් බලාපොරොත්තු සඵල කරගන්න උත්සාහවන්ත වන  ආදරණීය වසරක් වේවා..

ජයවේවා!!