අතහිත

Tuesday, October 23, 2012

ඔබෙන් සමුගනිමි...



සදාදරණීය ඔබ..
පුරා වසරක කාලයක් මුළුල්ලේ
මාගේ තනි නොතනියේ සිට
ජීවන මගේ ගෙවුන
සෑම හැල හැප්පිලි ගැ‍ටුම් මැද
දුක සතුට
ජය පැරදුම්
ඇනුම් බැනුම්,
නින්දා ප්‍රශංසා මැද
මගේ ජීවනාලිය වෙමින්
මා සමග
දිවා රෑ දෙකෙහිම
මා තුරුලේ වෙලෙමින්
මසිත සැනසූ මහාර්ඝ ‍ඖෂධයක් වෙමින්
මගේ අඩු පාඩු ගැන
ලෝකය ගැන,
අපි ගැන,
විවෘත මනසිකින්
දෙනෙතට විද්‍යමාන කලාවූ
ලියන පෑණට තීන්ත වූ
ලියැවෙන කවට එලිවැටක් වූ
කියු කථාවට මාතෘකාවක් වූ
සදාදරණීයයාණෙනි,

ස්ථීර වූ දෙයක් නොවූ මේ ලෝකයේ
ස්ථිර ව පවිතන එකම දහම වෙනස් වීම බව
යලි යලිත් පසක් කරමින්,
නෙත් කෙවෙනි තුල
කදුළු බිදු රදවා
හිතේ මහ හිස්තැනක් ඉතිරි කර
මා දවා තනිකමේ යලි
ඔබ ගියා අද මගෙන් වෙන්වී...

නුඹට මම කුමක් කියම්ද?
නුඹට කෙසේ මම අරුත් දෙම්ද?
නුඹේ ගුණ මම කෙසේ වයම්ද?
නුඹ ගැන මම කුමක් ලියන්නද?
නුඹ නැති අඩුව හැමදාව දැනේවි යනු
පමණක්ම ලියා නවතින්නෙමි මම..

මගේ මතකේ මා සමග 
නිදි නොමැති යහන් මත හිදි
නැගුණු සුසුම් පොද නිවා සැනසූ
ඔ‍බ‍‍ට තුති මිත...




ඉතිං ඔබ
යලි කෙදිනක හෝ හමුවෙන තුරාවට
ආයුබොවන්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
-රස්තියාදුකාරයා- (2012/10/22) 

(පුරා වසරකට මදක් වැඩි කාලයක් තිස්සේ මගේ තනි ‍නොතනියට සිටි මගේ රැවුල ඉවත් කිරීම අරඹයා මෙය ලියැවිණි...! ; ) )
සමුගැනීමට මොහොතකට මත්තෙන්...

Monday, October 15, 2012

උත්සවයට පෙර..

ප්ලෑනින් ඇන්ඩ් ඕගනයිසින් II
පළමු කොටස මෙතනින්

රාජකාරි ජීවිතේ තෘප්තිමත් දවසක් පහුගිය බ්‍රහස්පතින්දා සිද්ද වුනා.. මගේ කලින් ලිපියේ මම කිව්වේ මෙන‍්න මේ උත්සවේ ගැන තමයි.. උත්සවයකදී අපේ අතින් පොඩ්ඩ පොඩ්ඩ අතපසු වෙන තැන් ගැනත් ‍පොඩි සදහනක් කරන්නයි අද කල්පනා කලේ.. 

මතක් වෙන විදිහට ලියන්නම්, නැත්තං මේක අංක කරන්න ගියොත් ඔළුවෙ තියෙන සමහර දේවල් මගහැරෙන්න පුළුවං හින්ද..

රාජකාරි පැවරීම සහ ඒවා ගැන හොයා බැලීම

අපිට ගොඩාක් වෙලාටම මේ වගේ වැඩ වලදි හැම දේම තනියම හොයල බලන්න අමාරුයි.. ඒ වගේම තමයි ප්‍රායෝගිකව ඒ වගේ දෙයක් කරනවා කියන‍්නේ ඒ කරන පුද්ගලයට හරි හිසරදයක් වගේම ඒ තැනැත්තාට එදාට නියමිත ප්‍රධාන රාජකාරි අමතක වෙන්න පුළුවං ලොකු අවස්ථාවක්.. මෙහෙම වැඩ බෙදද්දි පොඩ්ඩක් හිතල බලන්න පවරණ රාජකාරිය කරන්න පුළුවං පුද්ගලයෙකුටද ඒක පැවරුවේ කියල.. උදාහරනෙකට වැස්සකටවත් පන්සලකට ගියෙ නැති මනුස්සයෙකුට උත්සවේ දවසේ ආගම සිහිකරන්න හාමුදුරු‍කෙනෙකුට ආරාධනා කරන්න යවනවට ව‍ඩා සාමාන්‍යයෙන් ඒ පන්සලේ යන එන පුද්ගලයෙකුට ඒ කටයුත්ත සාර්ථකව වගේම පහසුවෙනුත් කරගන්න පුළුවං.. එතකොට එන පුද්ගලයත් එතනට එන්නේ යම්තාක් දුරට අවබෝධයක් ඇතිකරගෙන.. වැඩ ටික කොච්චර පැවරුවත් ගොඩාක් වෙලාවට ඒ හැම දේ ගැනම පොඩ්ඩක් විතර ටච් එකේ ඉන්නවා නං ඒක වැඩිය හොදයි.. අනිත් ප්‍රධානම දේ තමයි, තමන් සංවිධායක කෙනෙක් නම්, ඕනිම තැනක් බැක් කරන්න, ඒ ඕනිම දෙයක් කරන්න සූදානමින් ඉන්න ඕනි.  ලේසිම දේ තමයි පිරිසිදු කිරීම් කටයුතු.. ඒ දේ බාරදුන්න පුද්ගලයා ආවේ නැත්තං මුළු සාලාවම නැත්තං ඒ උත්සවේ පවත්වන තැන කුණු ගොඩක්.. තමන් ලොකු සූට් බූට් ගහල ඉන්න පුළුවං.. ඒත් තමන් කරන වැඩේ හරියට කරන්න ඕනි නම් කොස්සක් අරන් අතුගාන්න දෙකට නැමෙන්න එපා.. එහෙම උනාම කරන වැඩේ අල වෙන්න තියෙන ඉඩ අඩු වෙනවා.. වගේම තමුන්ටත් තමුන් ගැනම ලොකු ආත්ම තෘප්තියක් ඇතිවෙයි කවදාහරි දවසක..

මේ වෙලේ මට මතක් වෙච්චි අත්දැකීමකුත් ලියන්න හිතුනා.. රස්තියාදුකාරයාගේ පාසලේ පීනුම් තටාකේ විවෘත කරපු දවසේ එක දරුවෙකුගේ දිය යටදි ක්‍රෑම්ප් එකක් ඇවිත් ගි‍ලෙන්න ගියා.. ඒ වෙලාවේ එතන හිටපු අපේ ඉස්කෝලෙ පිහිනුම් පුහුණුකාර තුමා ටයි-කෝට් ‍පිටින්ම පූල් එකට පැනල ඒ දරුවව ගොඩ ගත්තා.. එදා ඒ පුහුණුකරු වීරයා වීම නෙවෙයි වැදගත්.. බැරිවීමකින් වත් අර දරුවා පූල් එකේදී ගිලුණා නම් ඒ පූල් එ‍කෙන් ආපසු වැඩක් නැති වෙන්නත් ඉඩ තිබුනා.. අපේ ආදිශිෂ්‍යයෝ කව්රු හරි හෝ දැං ඉන්න කව්රු හරි මේක කියවනවානං දන්නවා ඇති මං කිව්වේ බොරුවක් ‍නොවන ‍විත්තිය..

ආරාධනා කිරීම

හැම වෙලේම සංවිධායක වරයෙක් සිහියේ තබා ගතයුතුම දේ වලින් එකක් තමයි මේක.. තමන් ඒ ඒ අදාල අංශවලට අදාල පුද්ගලයන්ට ආරාධනා කරාද කියන කාරනේ දෙතුන් පාරක් හොයල බලන්න.. උත්සවේ පටන් ගන්න මොහොතකට කලින් හරි එහෙම මග ඇරුණු කෙනෙක් ඉන්නවානං කියන්න.. එහෙම කරොත් එදාට නැතත් පස්සෙ දවසක හරි ඒ පුද්ගලයන්ගෙන් වැඩක් කරගන්න පුළුවං වෙයි, ඒ පුද්ගලයෝ ආරාධිත අමුත්තෙක් විදිහට සහභාගී වෙයි.. එහෙම නොකරොත් ඒ පුද්ගලයාගෙන් ආයෙ කවදාවත්ම උදව්වක් එහෙම බලාපොරොත්තු වෙන්න එපා.. මොකද අද කාලේ ගොඩාක් පුද්ගලයෝ මේ වගේ පුංචි පුංචි දේවල් ගැන මහා‍ ගොඩාරියක් ලොකුවට හිතනවා..

මුලසුන / ප්‍රධාන ආරාධිතයා

ආරාධානා කරද්දි කල්පනා කරන්න ඕනි වැදගත්ම දෙයක් තමයි ඒ ආරාධනා කරන පුද්ගලයා ඒ උත්සවේට කොයි තරම් දුරකට ගැලපෙනවාද කියන කාරනේ.. සමහර උත්සව වලදී අපි දකින අපිට පෙන්න තියෙන ලොකු අතපසු වීමක් වෙනවා මේක.. ඒ උත්සවේට කොහෙත්ම අදාල නැති පුද්ගලයන්ට මුලසුන දීල තියෙනවා.. ගොඩාක් වෙලාවට අද නම් මේ ගොඩට වැඩියෙන්ම දේසපාලකයෝ තමයි වැටෙන්නේ.. සංවිධායකගේ පොරත්වය පෙන්නන්න ඒ ඒ ප්‍රදේශවල ඉන්න ලොකු ලොක්කොයි කියන දේසපාලකයන්ට උත්සව වලට ආරාධනා කරනවා.. ඒත් ඒ පුද්ගලයෝ ගොඩාක් වෙලා වලදි ඒ උත්සව වලට ගැලපෙන්නේ නෑ.. උදාහරනෙකට ‍ගමේ මිනිස්සුන්ගේ දාඩිය ශ්‍රමය හා මුදල් වලින් ගමට යන පාර හදනවා.. ශ්‍රමදාන දාල, වැඩ කරන මිනිස්සුන්ට ගමේ මිනිස්සුම කන්න බොන්න දීලා, පොඩි දරුවොත් ඇවිත් ගල ගල හරි උස්සල ලොකු උදවියත් එක්ක හරි හරියට වැඩ කරල අන්තිමේ පාර විවෘත කරන්න ඒ පාරෙන් වැරදිලා වත් යන්නේ නැති මන්ත්‍රිකෙනෙක් වගේ ගේන්නේ ඇයි??? ඊට ව‍ඩා හොද නැද්ද ඒ ගමේම ඉන්න පොඩි එවුන් කීප දෙනෙකුට ඒ පාර විවෘත කරන්න දුන්නනං..

ස්ථානය

තමන් මුලින්ම හිතන්න ඕනි දෙයක්.. අපි සංවිධානය කරන ඉවෙන්ට් එක මොන වගේ දෙයක්ද කියන දේ ගැන මම මුලින්ම කිව්ව වගේ හොද අයිඩියා එකක් තියෙන්න ඕනි මේ වගේ දේවල් වලදි.. තමන් කරන්න යන්නේ එලිමහන් සංගීත ප්‍රසංගයක් කියල.. ඒ වගේ දේකට ශ්‍රවණාගාරයක් ව‍ගේ තැනක් තෝරගත්තොත් ඒ වැඩසටහන එතනින්ම ඉවරයි නේද... ඒවගේම හොද ශ්‍රාස්ත්‍රීය වගේ සංගීතමය අංගයක් වගේ දෙයක් එලිමහනේ පැවැත්වීමෙනුත් වැඩක් වෙන්නෙ නෑ වගේ තමයි.. අනිත් කරුණ තමයි අපේක්‍ෂිත සෙනග ප්‍රමාණය.. ඒ දේ ගොඩාක් වැදගත් වෙනවා.. තමන් සංවිධානය කරන ඉවෙන්ට් එකකට අපේක්‍ෂිත ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ඇවිත් ඒ උත්සවේට හරි මොකට හරි සහභාගී වෙන්න බැරි උනොත් ඒක තමුන්ට වගේම තමුන් කරන හැම වැඩකදිම බරපතල විදිහට බලපාන දෙයක්.. ඒ ගැන මුලින්ම කල්පනා කරන්න ඕනි දෙයක්..  තවත් දෙයක් තමුන් අ‍පේක්‍ෂා කරන්නේ පන්සීයද ඒකට දාහක් දෙදාහක් විතර දාන්න පුළුවං ශාලාවක් වෙන් කිරීම මුදල් නාස්තියක් වගේම සහභාගී වෙන ඕනි කෙනෙකුට ‍තේරෙන දෙයක් තමයි එතන තියෙන සංවිධානයේ දුර්වල කම..

අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි.. ඒ නිසා අපිට හැම දේම තිතටම කරන්න හැම වෙලේම බැරි වෙන්න පුළුවං.. ඒ නිසා අපි හැමවෙලේම බලන්න ඕනි අපිට පුළුවං උපරිමේට කරන්න. එහෙම කියල හඳ අල්ලන්න ට්‍රයිකරන්න කියන දේ නෙමෙයි මෙතන කියන්නේ.. අපේ මට්ටමට අපිට යන්න පුළුවං උපරිම මට්ටමට  සැළසුම් කරන්න.. එ‍තකොට ගොඩාක් දේවල් සාර්ථක කරගන්න පුළුවං.. මේ කාරනේ උත්සවහරි මොකක් හරි සංවිධානයේදි විතරක් නෙවෙයි.. තමන්ගේ පුද්ගලික ජීවිතේටත් අදාල කරගන්න. එතකොට තමුන්ට පුළුවං වෙයි ලස්සන සහ පිළිවෙල ජීවිතයක් ගත කරන්න..

අනිත් කාරනේ එකක් හරි ගියේ නෑ කියල ඒ හින්ද පසු බහින්න එපා.. ඒක අසාර්ථක උනේ කොතනින්ද කිය‍න දේ පොඩ්ඩක් කල්පනා කරල බලන්න..ඒත් ඔළුවට එන්නේ නැත්තං උත්සවේ දවසේ වෙච්චි සිදුවීම් මුල ඉදන් පිළිවෙලට කල්පනා කරන්න.. එත‍කොට නිකම්ම ඔළුවට එනවා ගැස්සුන තැන් කොතනද එහෙම උනේ මොකද කියන කාරනාව.. ඊට පස්සෙ හිතන් උපකල්පනය කරල බලන්න ඒ වැරැද්ද කොහොමද හදාගන්නේ කියල.. තමන් ගාන තියෙන අයිඩියා ඔක්කෝම දාල බලන්න.. ඒත් එන්නේ නැත්තං තමුන්ට ගොඩාක් හිතවත් යාළුවෙක්ගෙන්, එහෙමත් නැත්තං තමුන්ට ආදරේ කරන ආදර වන්තයා හෝ ආදර වන්තියත් එක්ක පොඩ්ඩක සාකච්චා කරල බලන්න.. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක අම්ම තාත්තගෙන් අහල බලන්න. සමහර වෙලාවලදි එයාලටත් එහෙම වෙලා තියෙන්න පුළුවං.. ඒ කියන්නේ එයාල ගාව උත්තරයක් තියෙන්නත් පුළුවං.. කොයිම වෙලාවකවත් ඒ කියන දේවල් දේව සත්‍යය විදිහට පිළිගන්න එපා.. තමුනුත් කල්පනා කරල බලන්න.. වැරදීමේ නරකම තැනට ගිහින් අර අපිට දැනගන්න ලැබුන විසඳුම ආදේශ කරල ආපසු සංවිධානය කරන්න.. එතකොට තමුන්ට පුළුවං ඒ තමන්ට ලැබිච්ච උත්තරේ තමුන්ට ඕනි විදිහට තමුන්ගේ ප්‍රස්ණෙට විසඳුම විදිහට යොදාගන්න...


කාලය

තමුන් යොදාගත්තු වැඩේ සිදුවෙන්න ඕනි මොනවගේ වෙලාවකදීද.. ඒත් එක්කම ඒකාරනෙත් එක්කම සම්බන්ධ වෙනදේතමයි සංග්‍රහය.. සංග්‍රහයක් කෙරෙනවානම් කොයි වගේ වෙන්න ඕනිද කියන දේ.. කාලය ගැන තීරණය කි‍රීමේදි ඒ උත්සවය හෝ වේවා අවස්ථාව හෝ වේවා ඒ දේට සම්බන්ධ වෙන පුද්ගල කොට්ඨාශය ගැන හිතන්න ඕනි.. රස්තියාදුකාරයාගේ හිතවත්ම මිත්‍රයෙක් ටික කාලෙකට උඩදි උතුම් පිය පදවිප්‍රාප්ත උනා.. ඒ දවස් වලම අපි තීරණය කලා පොඩි දරුවා බලන්න යන්න.. එතකොට දරුවා හිටියේ ටිකක් දුර.. ගිහින් එන්න දවසක් යනවා.. ඒ හින්ද වැඩේ පොඩ්ඩ පොඩ්ඩ පහුවෙලා අන්තිමේ දී දරුවාට මාස හයක් විතර ගියාට පස්ස ඊයෙ රාත්තිරියේ යාන්තං ගිහින් පොඩි කෙල්ල පැ‍ට්ටගේ මූණ බලල එන්න පුළුවං උනා.. මෙතනදි මට කියන්න ඕනි උනේ, ඒ කාරනේට සම්බන්ධ වෙන්න ඉන්නේ ගොඩාක් දුරබැහැරින් එන පිරිසක්නං ප්‍රායෝගිකව එයාලට උදේ පාන්දර වගේම රාත්‍රියේ සංවිධානය වෙන කටයුතුවල‍‍ට සහභාගී වීමේ ගැටළු ඇතිවෙනවා.. ඉතිං ඒවගේ අවස්ථාවකදී හොදම දේතමයි දිවා කාලය ‍ඒ වෙනුවෙන් තෝරගන්න එක.. අපි හිතමු අපි ගෙවල් ළග අහල පහල ඉන්න කීපදෙනෙකුට සංග්‍රහයක් පවත්වන්න තීරණය කලා.. අපි ඒ වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සතියේ වැඩකරන දවසක දාගන්න වා.. එතකොට වටේ පිටේ ඉන්න උදවිය දිවා කාලයේ සේවයේ යෙදෙන පිරිසක් නං ඒ අයට අපි සංවිධානය කරන උත්සවේට සහභාගී‍වීමේ ප්‍රායෝගික ගැටළු මතුවෙනවා.. ‍එහෙම උනාම එයාල සහභාගී වුනත් එන්නෙ එයාලගේ ඔළුවල ලොකු ප්‍රශ්ණ ගොඩාක් ඇති කරගෙන. එතකොට එයාලට අපි මොන දේ කරත් හරියට හිතට වදින්නේ නෑ.. අනිත් කාරනේ අපි සැර බීම වගේ දෙයක් දෙන උත්සවයක් රාත්‍රි කාලයේ දෙන්න තීරණය කලා කියමුකෝ.. අපේ ගෙදර ඉන්න පිරිස ගැන ඒ වෙද්දි හිතන්න ඕනි.. තමුන් අළුත විවාපත් වෙච්ච අය නම් කොච්චර හිතවත් අය උනත් රාත්‍රියේ පවත්වන සැර බීම සාද සංවිධානය ඒ තරම්ම සුභ දායක වාතාවරණයක් උදා කරන්නේ නෑ.. ඒක නරකයි!, කරන්න හොද නැති දෙයක් කියනවා නෙවෙයි.. නමුත් ඒ වගේ දෙයක් කරන්න ඕනිම නං දෙතුන් පාරක් ඒ ගැන හිතන්න.. සමහර සමාජ පන්ති වෙනුවෙන් මේ තීරණේ අදාල නොවෙන්න පුළුවං.. ඒ අය මේ ගැන වැඩිය නොහිතා හිටියා නං හරි...

සංග්‍රහය කියන කාරනේ උත්සවේකදී ප්‍රධාන සාධකයක් විදිහට මේ වෙද්දි සලකන්න මිනිස්සු පුරුදු වෙලා තියෙන දෙයක්.. ඒ ගැන වැඩි විස්තර ඊළඟ කොටසින් බලාපොරොත්තු වෙන්න.....

දැනට නවතින්නම්.. ඔබ සංවිධානය කරන සියළු කටයුතු සාර්ථක වේවා!!!

-රස්තියාදුකාරයා-

Thursday, October 4, 2012

ප්ලෑනින් ඇන්ඩ් ඕගනයිසින්

රාජකාරියේදි සිද්ධ වෙච්ච පුංචි කාරණාවක් ගැන ලිපියක් ලියන්න ඕනි කියල හිතුනේ ඒකෙන් කාට හරි පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතිච්චි හින්ද... රස්තියාදුකාරයා පොර වෙන්න ලිව්ව එකක් නං නෙවෙයි.. 

සිද්ධිය මේන්න මේකයි.. රස්තියාදුකාරයාගේ ‍රාජකාරි ස්ථානයේ සංගමයක් වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරන්න රස්තියාදුකාරයාට සිද්ධ උනා.. ඒත් සිද්ධ උනාම කියන්නත් බෑ.. වැඩේ ප්ලෑන් කරල ඇජෙන්ඩා එකකුත් කටුවට ගහල මට එව්ව මෙහෙම කරමු නේද කියල.. ඒ ඇවිත් තිබ්බ ලියුම්ටික කියවල කරන්න ඕනි මොකක්ද කියල කල්පනා කරද්දි ඒකට එවපු සැලැස්මට වඩා ‍සෑහෙන්න ලොකු දෙයක් කරන්න පුළුවන් මහ පුළුල් මාතෘකාවක් ඒක.. 

රාජ්‍ය වැඩසටහනක් වෙනුවෙන් අපේ රාජකාරි ස්ථානයට අදාලව කෙරෙන දැනුවත් කිරීමේ වැඩසටහනක් වගේ දෙයක් තමයි අපෙන් අපේක්ෂා කරල තිබ්බෙ.. අදාල පුද්ගල කාණ්ඩය පාසල් යන වයසේ දරුවෝ.. රස්තියාදුකාරයා මීට පෙර ඉදපු ඇන් ජී ඕ වලදි කරපු දේවල් එක්ක මේක සිම්පල් ප්ලෑන් එකක් වගේ ‍එකක්.. රස්තියාදුකාරයාගේ යෝජනාව උනේ පාසල් ළමයි ටිකක් ගෙන්නල දේශණ කීපයක් අහන්න දෙනවට ව‍‍ඩා ප්‍රායෝගික දෙයක් විදිහට පාසල් ළමයි කණ්ඩායම් දෙකකින් ඒ අදාල තේමාවකට විවාදයක් එක්කම පොඩි දේශණයක් සහ සංවාදයක් වගේ දෙයක් කරමු කියල.. මොකද අපි එතකොට තෙල බෙදද්දිම එන උං දන්නවා - විවාදෙට ක‍රුණු හොයල වගේ දේවල් වලින්- එන්නෙ මොකටද? මොනවගේ දෙයක් ගැනද කථා වෙන්නේ කියල සහ ඒ සහභාගී වෙච්ච ළමයින්ට පොඩි සහතික කෑල්ලක් ‍දෙන එක.. මේකෙදි අපි කරන වැඩේ ගැන ඒ සම්බන්ධවෙන ළමයි පූර්ව අවබෝධෙකින් තමයි එන්නේ.. ගැටළු වගේ දේවල් තියෙනවානං ඒවත් ලෑස්තිකරගෙනමයි එන්නේ.. නැත්තං ඕවගේ දේසණ අහං ඉදං ගෙදර ගියාම තමයි ගැටළු ටික පෝලිමට එන්න ගන්නේ.. එහෙම නැත්තං දේසනේ ඉවර වෙලා පාරෙ යද්දි.. එතකොට ඉතිං වටේ ඉන්න යාළුවංටයි, ගෙදරකනං අම්මටයි තාත්තටයි අහස පොළව ගැටළන්න වෙනවා ඒ ප්‍රස්ණ වලට උත්තර දෙන්න.. 

අනිත් කාරනේ තමයි ඔය වගේ උදේ ඉදං හැන්දෑ වෙනකං තියෙන දේසණාවලට කණ දාගෙන ඉන්න එක මහම මහ බෝරිං වැඩක්.. ඉස්කෝලෙ යන ළමයින්ට ඕ වගේ දේවල් අරහං කියල අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ.. අපිත් ඒ කාලේ පහුකලානේ.. 

වැඩක් කරනවානං ඒ වැඩේ ප්‍රයෝජනවත් විදිහට කරන්න ඕනි නැත්තං නොකර ඉන්න ඕනි.. ‍එහෙම නොවුනොත් ඒ කරන වැඩේට යොදවපු කාලය, මුදල් වගේ දේවල් ‍අමු අමුවේ නාස්ති කිරීමක් සිද්ධ වෙන්නේ.. කොහොම හරි ඔය අදහස ඉදිරිපත් වෙච්චි ගමන් ප්‍රතික්ශේප උනා.. ගැටළුවක් නෑ මගේ තීරණේට අවස්ථාවක් නොලැබිච්ච එක ගැන.. ඒත් දුක තියෙන්නේ කරන වැඩේ තේරුමක් නැති උනොත් නිකං ගගට ඉණි කැපුව වගේ වැඩක් අපි කරයි කියල හිතෙනකොට තමයි.. 

මේ වගේ අවස්ථාවක් කොළඹ වගේ ප්‍රදේශයක පාසල් කේන්‍ද්‍ර කරගෙන කරන්න තිබ්බ නං, මාතෘකාවට අදාලව ප්‍රසන්ටේෂන් තරගයක් තියල හොදම එක අවසන් දේසණ අතරෙදි ඉදිරිපත් කරන්න, ඒ අවස්ථාවෙදි විවාදයක් වගේ දෙයක් තියල මාතෘකාව පිළිබද ළමයි දන්න දේ ගැන සභාවට එන අනිත් පිරිස දැනුවත් කරන්න, ඒ මාතෘකාවට අදාලව පොඩි වීඩියෝ දර්ශණ මාලාවක් ඉදිරිපත් කරන්න වගේ නොයෙකුත් දේවල් කරන්න තිබ්බ.. නමුත් රස්තියාදුකාරයා දැන් රාජකාරි කරන පළාතත් එක්ක මේ ව‍ගේ දෙයක් කරන්න (උත්සාහ කරන්නවත්) තව අවුරුදු කීපයක් ගත වෙනවා..

මේකෙදි වැදගත් වෙන්නේ  අපේ ඕගනයිසිං කෝමද, අපේ නම තියාගන්නේ කෝමද කියන‍ දේ නෙවෙයි.. මේකෙන් ඉලක්කගත පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් වීම.. මේ වැඩසටහනේදි නං ළමයි ඒ ඒ මාතෘකා ගැන හිතන්න පටන් ගන්නවා.. ඒ ගැන තොරතුරු හොයනවා.. නොදන්න දේවල් දැන ගන්නවා.. සභාවක් ඉස්සරහ බය නැතුව කථා කරන්න ඉගෙන ගන්නවා වගේ අපේ ඇහැ‍ට නොපෙනන වාසි රාසියක් ලැබෙනවා මගේ යෝජනාවට වැඩේ කෙරුනනම්..

මේවගේ දෙයක් කරන්න ඒ සංවිධායක මණ්ඩලේ ඉන්න පුද්ගලයොත් ඒ ඒ අංශ ගැන සාමාන්‍ය දැණුමක්වත් තියෙන අය වෙන්න ඕනි.. එහෙමත් නැත්තං වැඩක් හරියට ලස්සනට කරන්න ආසාවක් - උණක් තියෙන පොරවල් ටිකක් වෙන්නම ඕනි.. ඔය දෙකම නැත්තං සපයා ගන්න පුළුවං සියළුම මානව වගේම භෞතික සම්පත් තිබිලත් වැඩේ හරියට කරගන්න බැරි වෙන එකයි වෙන්නේ..

කොහොමහරි මගේ යෝජනාව නිශ්ප්‍රභා උනාම මං ඇහැව්ව ඇයි කියල.. උත්තරේ උනේ මල්ලි උඹ කැමති වෙයි.. අරූ මොකක් කියයිද? අරූ කිව්ව මෙහෙම කරමු? අරය කැමති මේ විදිහට.. මේක කව්ද කරන්නේ.. ? උඹට තනියෙන් තමයි කරන්න වෙන්නේ.. උඹ තනියෙං අදිනවද? අරකද මේකද කියල හැටහු‍ටාමාරක් දේවල් කිව්වා..

ඇත්ත.. මං කිව්ව වගේ වැඩක් කරන්න ඕනි කියල උණක් නැති උන් ටිකක් ඉන්නවානං ඉතිං සාදා සොත්ති වෙච්චි සෙට් එකක් ‍එක්ක වැඩ කරද්දි ඔය වගේ දේවල් සාමාන්‍ය සිදුවීම් වෙනවා.. මෑතකදි තවත් ඔය වගේම තරගයක් සංවිධානය කරන්න රස්තියාදුකාරයා යෝජනා කරපු අවස්ථාවකදී ජ්‍යේෂ්ඨ සහෝදරයෙක් හොද කථාවක් මට කිව්වා.. 

මල්ලි ඕක පට්ට අයිඩියා එකක්.. ඒත් මෙතන වැඩ කරද්දි ඕ වගේ වැඩක් කරන්න තනියෙන් බෑ.. අනික ඔය අයිඩියා එක දාපු ගමන් උඹට ඕක සාර්ථක වෙන්නේ නෑ.. ඕක ‍ඔහොම කරන්න බෑ.. කරනවානං මෙහෙම කරමු.. අරකද මේකද කියයි.. සමහරු කියයි පට්ට.. අපි උඹට ඕනි දේකට ඉන්නවා කරමු කියයි... ඒත් මචං අන්තිමට උඹට තනියෙන්ම වැඩේට කරගහන්න වෙනවා..අනිත් උං ඔක්කෝම ලස්සනට ඇග බේරගෙන උඹේ වැඩේ ගැණ ගතු කිය කියා ඉදියි.. උඹේ වැඩේ පොඩි හරි අවුලක් ගියොත් ගහක් ගලක් ගා‍නේ ඒ ගැන කියෝ කියෝ ඉදිං.. උඹ වැඩේ පටන් ගත්තු වගක්වත් කියන්නේ නැතුව.. එහෙමත් නැතුව කොහේවත් ඉන්න එකෙක් අන්තිමේදි වැඩේ කරන තැනට පැනල කට්ටියගෙන්ම ලකුණු දාගනියි.. ඉතිං බන් මෙහෙව් එවුං එක්ක මොකටද බන් ඕ වගේ වැඩක් කරල.. 

මේ දක්වා රස්තියාදුකාරයා ලිව්වේ අපි අපිම තුල තියෙන හීන මාන ගැනයි.. ඕනිම වැඩක් ලස්සනට ප්ලෑන් කරන්නේ ඒක කරන මිනිහට ලකුණු දාගන්න නෙවෙයි.. ඒ කරන වැඩේ උපරිම කොලිටියට සිද්ධ කරන්නයි.. 

අනිත් කාරනේ මේක කියවන ඔයාටත් මේ වගේ අවස්ථා උදා වෙලා ඇති. නැත්තං සමහර විට ඉස්සරහදි කරන්න වෙයි.. එහෙම කරනවානං ඉස්සෙල්ලාම වැ‍ඩේ ගැන හොද -සාමාන්‍ය මට්මමේ- අයිඩියා එකක් ගන්න.. එ‍තකොට වැඩේ සැළසුම් කරන්න ලේසියි.. අනිත් එක වැඩේ කෙරෙන්නෙ කාටද? තමන්‍ එක්ක ඉන්නේ කව්ද - වැඩක් කරන්න පුළුවං මිනිස්සුද? නැත්තං ඔක්කොම අල කරන එවුන්ද? කිසි දේක හොදක් දකින්නේ නැති ජාතියක්ද වගේ දේවල් ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න.. එහෙම කලොත් සාර්ථක දෙයක් සංවිධානය කරල ලබන සියුම් සතුටක් ලබාගන්න ඔයාට පුළුවං වෙයි.. ඒ ලැබෙන සතුට වචනයෙන් විස්තර කරන්න රස්තියාදුකාරයා වචන දන්නේ නෑ.. ඒත් ඒ මිහිර විදපු කෙනෙක් විතරයි ඒක කොයි වගේ ද කියල දන්නේ...

තවත් උදාහරණයක් මතක් උනා.. මෑතකදි රාජකාරියේදි එක්තරා පුද්ලගයෙක් සගරාවක් ගැන අහගෙන ආව.. මමත් දන්න දේවල් ටික කියල වැඩේ පටන් ගත්ත.. ඩිසයින් කරල ප්‍රින්ට් එකට යවන්න හදද්දිම අර මනුස්සය මාව හොයන් එනවා ලොකු වෙනස්කමක් කරන්න තියෙනවා කියල.. මාත් හිතුවා මගේ වැ‍රැද්දක්වත්දෝ කියල.. වැරැද්ද නං ලොකුයි තමයි.. නම් වගයක් වෙනස් කරන්න.. මුල් පිටුවෙ ඇතුල් පිටුවේ.. ප්‍රකාශණ සහාය කියල නම් කීපයක් දාල තිබ්බ.. එකපාරටම ඒ ඔක්කොම අයින් කරන්නලු.. මටත් පොඩ්ඩක් අවුල් දැං.. මං ඇහුව ඇයි හේතුව කියල.. මට බොහොම සරල උත්තරයයි හම්බුනේ .. උං එකෙක්වත් දැං මාත් එක්ක නෑ.. එතනින් එහට මම මොකුත් අහන්න ගියේ නෑ.. ඉල්ලං ටිංකිරි ගාගන්න ඕනි නෑ‍නේ...

අවාසන වශයෙන් කියන්න තියෙන්නේ තමන් අළුත් වැඩක් අළුත් තැනකදි කරන්න යනවා නං තමන්ට තනියෙන් වැඩේ කරන්න පුළුවං කියන හැගීම තියෙනවා නං විතරක් වැඩේ කරන්න පටන් ගන්න.. මොකද තමන්ට තමං ගැනවත් විස්වාස කරන්න බැරි අද කාලේ අනුන් ගැන කෝම විස්වාස කරන්නද?? අනිත් වැදගත්ම කා‍‍රනේ තමයි සැළසුම් කරන්න සූදානම් වෙන්න වෙන්න පුළුවං දරුණුම දේට.. හොදම දේ වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න...!!


ජය වේවා!!

ඌරෝ ඉදිරියේ මුතු හලා වැඩක් නැත්තේමය
බීරි අලින්ට වීණා වයා පළක් නැත්තේමය..

එහෙත් සියල්ලටම වඩා උත්සාහය අගණේය.. !!!