අතහිත

Thursday, September 27, 2012

මේ ගැනත් පොඩ්ඩක් හිතන්න.....

මේ කියැවෙන්නේ අපි හැමෝම දකින/ නොදකින ඒත් දැක්ක/ නොදැක්කා වගේ ඉන්න දෙයක් ගැන.. ‍සමහරවිට මේක කියවන උදවියට- ඔයාට, එහෙමත් නැත්තං ඔයාලගේ යාළුවන්ට මේ වගේ සිදුවීම් වෙලා ඇති, වෙනව ඇති, වෙන්න තියෙන්න පුළුවං.. මේ සිද්ධිය සිදුවීමේ  සම්භාවිතාවය මොනව උනත්, සිද්ධවෙන පුද්ගලය කව්රු උනත් මේ දේ මේ වෙද්දි නිතර දෙවේලේ අපේ ඇස් පනාපිට පේන්න තියෙන දෙයක් හින්ද රස්තියාදුකාරයාට මේ ගැන නොලිය ඉන්න බැරිවුනා.. ඕන්න ඒ හින්ද ලියල දැම්ම.. කස්ට්ය කේන්ති ගන්න එහෙම එපා මේක කියෝල..

සම්බන්ධතා.. සම්බන්ධතාවයක් - relationship කියන්නේ මොකක්ද?? අපි මූණු පොතේ අපි තනියෙන්ද, නැත්තං තව කාත්එක්ක වත් සම්බන්ධයක් පවත්වනවාද, එහෙමත් නැත්තං වෙන්වලා කියෙන දේද??? සමහර උදවියට ඒ විදිහට ඒ ගැන දැනීමක් තියෙන්න පුළුවන්... සරලවම කිව්වොත් සම්බන්ධය /ඥාතිත්වය විදිහට මේක කියන්න පුළුවන්.. ඒත් රස්තියාදුකාරය ඊ‍ට පොඩ්ඩක් එහාට යන්න කැමතියි.. සාමාන්‍යයෙන් මේ සම්බන්ධතා කියෙන දේට ගොඩාක් අර්ථකථන තියෙනවා.. මෙන්න මේකයි පිළිගත්ත එක කියල නම් නෑ.. නමුත් රස්තියාදුකාරයා දන්න විදිහට ඕක මේ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්..

"ප්‍රධාන වශයෙන් පුද්ගලයන් අතර පවතින්නාවූ ශාරීරික හා/හෝ භාවාත්මක වූ අන්‍යෝන්‍ය සබැදියාව"

ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ තමයි.. මේකෙන් කියවෙන්නෙ පුද්ගලයො අතරෙ ඇතිවන කායික හා/ හෝ මානසික හැගීම් මත ඇතිවෙන කිට්ටු සම්බන්ධතාවය.. දැන් හිතෙනවා නේද මේක කොච්චර සංකීර්ණ දෙයක්ද කියල.. දැං තම තමන් පොඩිත්තක් කල්පනා කරල බලන්න තමන් මේ "හා" කි‍යන ගොඩේද "හෝ" කියන ගොඩේද ඒ ගොඩවල් දෙකෙ‍නුත් ශාරීරික ද මානසික කියන ගොඩේද කියල...

ගනන් ගන්න එපා මොන ගොඩේ වුනත්.. ඒත් සාර්ථක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න නම් ඔය කියන සාධක දෙකම සමානව තියෙන්න ඕනි.. මේකනුත් ශාරීරික සබැදියාව ඇතිවෙන ක්‍රම ගණනාවක් තියෙනවා.. ප්‍රධාන දෙයක් තමයි ආදරය, කරුණාව වැනි මානුශීය හැගීම් මත හා ලිංගික ක්‍රියාකාරකම් මත ඇතිවන කැමැත්ත... මේ කිව්ව දෙවනි කොටසට ලිංගික සම්බන්ධය - Sexual Relationship කියලත් කියනවා..

දැං කස්ටියට ප්‍රශ්ණයක් වෙන්න පුළුවං රස්තියාදුකාරයා මේ මොන මගුලක් ගැනද කියන්නේ කියලා.. ඒ තමයි ඔය කිව්ව සම්බන්ධතාවලට පුංචි විශේෂණයක් දාපුවාම එන දෙයක් ගැන...

අනියම් සම්බන්ධතා.....

මේ මොකද්ද??? කොහොමද මේවා ඇතිවෙන්නේ?? මේවායේ පැවැත්ම කොයිවගේද?? මේවායේ වාසි අවාසි මොනවාද?? සහ මේවා දෛනික ජීවිත වලට හා සමාජයට බලපාන්නේ ‍කොහොමද කියන කාරනය ගැන තමයි අද රස්තියාදුකාරයා කථා කරන්නේ..

අනියම් සම්බන්ධතා.. සමාජ සම්මතයෙන් එපිටට ගිය එහෙමත් නැත්තං සමාජය විසින් පිළිනොගන්නා සම්බන්ධතාවයන් සාමාන්‍යයෙන් මේ ගණයට වැටෙනවා.. ලේසිම උදාහරණයක් විදිහට ගොඩාක් බටහිර රටවල්වල පිළිගත් සම්බන්ධයක් වෙච්චි සමලිංගික ඇසුර ලංකාවේදී පිළිගත්තු සම්බන්ධයක් විදිහට ගැනෙන්නේ නෑ.. ඒත් ‍ඒකෙන් අදහස් වෙන්නේ නෑ එහෙම දේවල් නෑ කියන කාරණාව.. ඒවා තියෙනවා.. නමුත් සමාජ සම්මතයට අනුව (මේ සමාජ සම්මතය කියන්නෙත් අපි අපි විසින්ම, අපේ සංස්කෘතිය ආගම දහම සහ තවත් නානාප්‍රකාර දේවල් එක්කලා ඇතිකරගත්තාවූ රාමුවක් මිස වෙනත් ලිඛිත උපදෙස් මාලාවක් නොවේ.. මේක හදාගත්තෙත්, වෙනස් කලේ, වෙනස් කරන්නෙත් අපිමයි කියන දේත් මෙතනදිම මතක් කරන්න ඕනි.. - රස්තියාදුකාරයා දකින විදිහ..) ඒවා පිළිගත් සම්බන්ධතා වෙන්නේ නෑ.. ගොඩාක් සංචාරක කලාපයන් බවට පත්වී ඇති මුහුදුබඩ පළාත් සහ කොළඹාශිත ප්‍රදේශ වල මේ වගේ සම්බන්ධතා දකින්නට ලැබුනත් රටේ අභ්‍යන්තරයට වන්නට ඒවායේ අඩුවක් දකින්න පුළුවං.. රස්තියාදුකාරයා කියන්නේ එහෙම ඒවා රට ඇතුලේ නෑ කියන දේ නෙවෙයි.. නමුත් අර මුලින් සදහන් කල ප්‍රදේශවලට සාපේක්ෂව අඩු ප්‍රමාණයයි..

අනියම් සම්බන්ධතා ඇතිවෙන්නේ කොහොමද?? මේ ප්‍රශ්ණෙට උත්තර මහා ගොඩාරියක් දෙන්න පුළුවං.. ඒවා කායික, මානසික වගේම භෞතික අවශ්‍යතාවයන් නිසා වෙන්නත් පුළුවං.. එහෙමත් නැත්තං හුදු රගපෑමක් සදහා, එහෙමත් නැත්තං වංචනික චේතනාවන් මුල්කරගත්තු හේතුවක් වෙන්නත් පුළුවං.. එහෙමත් නැත්තං ‍මුලින් සදහන් කල සමාජ රටාවට අනුවර්තනය නොවීමේ හැකියාව මත ඇති වෙන්නත් ඇතිකරගන්නත් පුළුවං..

අපි මිනිස්සු විදිහට අපේ සියළුම ආසාවන් සම්පූර්ණ කර ගත්තු පුද්ගලයන් නෙවෙයි.. ඒ නිසා ඇස, කණ, නාසය, දිව හා ශරීරය කියන ඉන්ද්‍රියන් පහ පිනවන්න අපි කො‍යි වෙලෙත් උත්සාහ කරනවා.. ඒ ආසාවන් සපුරා ගැනීමේ දී එය ලබගන්නා පුද්ගලයාගේ මානසික මට්ටම මත එහි සීමාවන් පැනවෙනවා.. 

උදාහරණයකට දැඩි ලිංගික අවශ්‍යතාවයක් සහිත විවාහක පුද්ගලයෙකුට ඒ පුද්ගලයාගේ භාර්‍යාවගෙන් ඒ දේ දීර්ඝ කාලීනව නොලැබීමකදි ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අනියම් ඇසුරකට යොමුවන්න පුළුවං.. ගෙදර වැඩ ඇරිල ආපු සැමියාට/ බිරිදට අනෙක් පාර්ශවය නිතර දෙවේලේ දොස් පවරණ කොට, බණින කොට, අරියාදු කම් කරන කොට නොසලකාහරින කොට එක් එක් කෙනාට දක්වන ආදරය අඩු වීමක් නිසා ඒ නොලැබෙන ආදරය, කරුණාව ලබාගන්න වෙනත් පුද්ගලයෙක් ගෙන් ඒ දේ ලබාගන්න ඒ පුද්ගලයා වෙත ඕනිවට වඩා ලංවීම හින්ද අනියම් සම්බන්ධයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා.. තමන්ට අවශ්‍ය දේවල් භෞතික දේවල් නොලැබීමකදී ඒ දේ කොහෙන් හරි ලබා ගැනීමේ අරමුණ මත දැනුවත්ව හෝ නොදැනුවත්ම මේ කිව්ව ආකාරයේ අනියම් සම්බන්ධතාවයන් ඇතිවෙන්න පුළුවං..

අනෙක් කාරනේ තමයි රගපෑම.. සමහර දෙනෙක් තුල තියෙන හීනමානයක් තමයි තමන් ගොඩාක් විරුද්ධ පාර්ශවයේ පුද්ගලයෝ එක්ක සම්බන්ධකම් තියෙනව කියෙන දේ පොරක් වෙන්න හේතුවක් කියල.. ඒ වගේ උදවිය නිතරම කථා කරන්නේ එයලා අහවලා එක්ක මෙහෙම කලා, මෙහෙ ගියා.. ඔය වගේ නොයේක් දේවල්.. ඒ වගේම එයාල හිතන්නේ තමන්ට තියෙන දේ - සැමියාට නම් බිරිද, බිරිද නම් සැමියා- නැතුව වෙනත් අය ගැන.. කථා කරන්නේ ඒ අය ගැන... එහෙම වෙද්දි එයාල නිතැතින්ම ඒ අනිත් පාර්ශව එක්ක පවත්වන සම්බන්ධතාව වැඩි වෙන්න ගන්නවා.. සමහරක් වෙලාවට ඒව‍යේ අවසන් ප්‍රථිපල ගොඩාක් දරුණු වෙන්න පුළුවන්....

කෙනෙක් තවත් කෙනෙක් රැවටීමේ චේතනාවෙන් තවත් කෙනෙක්ව අන්දනවානම්, මුලා කරනවානං ඒ දේ වංචාවක් කියල කියන්න පුළුවං..‍ මේ වංචාවනුත් ගොඩාක් උප කොටස්වලට කැඩෙනවා.. ඒ හැම දෙයක් ගැනම කථා කරන්න රස්තායාදුකාරයා මේ පෝස්ටුවෙන් අදහස් කරන්නේ නෑ.. ඒත් රස්තියදුකාරයාගේ අද කියන දේට අනුව, අද සමා‍ජයේ අපිට ‍ඕනි තරම් මේ විදියේ වංචාවන් සිද්ධ කරන පුද්ගලයෝ ‍දකින්න පුළුවං.. එයාල හුදෙක්ම තමන්ගේ වාසිය වෙනුවෙන් තවත් කෙනෙක් මුලා කරවලා ඒ තුලින් අයුතු ප්‍රයෝජන ගන්න අවස්ථා අපි ඕනි තරම් දැකල තියෙනවා නේද??? ටිකක් විතර කල්පනා කරල බලන්න.. රාජකාරි ස්ථාන වල - පෞද්ගලික අංශයේ නම් මේ වගේ ඒවා සිද්ධ වෙනවා අඩුයි මං හිතන්නේ.. මොකද ගොඩාක් පුද්ගලික ආයතන වැඩකාරයන්ගෙන් වැඩේ ගන්නත් දන්නවා.. ඒවාගේමයි වැඩේ කරගන්නත් දන්නවා..- රාජ්‍ය අංශවල මේ වගේ දේවල් ඉතාමත් සුලභයි.. රස්තියාදුකාරයා දැකල තියෙන විදිහට මෙන්න මේ කියන කැටගරියට ‍ගොඩාක් දෙනක් අයිති වෙනවා.. රැ‍වටෙන පුද්ගලයාගේ තනතු‍රෙන්, චරිතෙන් අයතා විදිහට වැඩ ගන්න.. එහෙමත් නැත්තං ඒ බල පුළුවං කාරකම්වලින් තමන්ගේ පෞද්ගලික ආසාවන් සපුර ගන්න උදවිය ඕනි තරම් ඉන්නවා.. ඕවත් ඉතිං අන්තිමේදි වැටෙන්නේ ඔය අනියම් සම්බන්ධතාවල බහිස්‍රාවීය ඵල ‍විදිහට...

අන්තිම කාරණේ.. සමාජයට සහ වර්තමානයට අනුගත නොවීම.. මේ කියන්නේ අද නිතර දෙවේ‍ලේ ඇහෙන දේවල් ගැන... සාමාන්‍යයෙන් කාන්තාවක් - රස්තියාදුකාරයා අහල තියෙන විදිහට-  අවුරුදු හතලිස් පහ පනහ පහුවෙද්දි ශරීරයේ සිදුවන ඔසප් ක්‍රියාවලිය අඩුවෙන්න පටන් ගන්නවා.. ඒත් එක්කම ඒ ක්‍රියාවලිය එක්ක බැඳී තියෙන හැගීම් ආදියත් පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න පටන් ගන්නවා... ඒ වෙද්දි රතිකෙලියට තියෙන ආසාවන් ටිකෙන් ටික අඩුවෙනවා.. එහෙම වෙද්දි ඒ කාන්තාව විවාහක නම් සැමියා අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිළිමත් වෙන්න ඕනි.. මොකද රස්තියාදුකාරයා දකින විදිහට ලිංගික ආසාව හෝ රති කෙලිය ආදරය වත්, ජීවිතේ වත්, විවාහය වත් නෙවෙයි... 


 දැං මේ කිව්ව දේවල් වල පැවැත්ම.. මේ ලෝකෙ ස්ථිර වූ කිසිවක් නැති එකේ මෙව්වා ස්ථිර වෙන්නේ ‍ කොහොමද?? සමහරු ඇස් පනාපිටම කන්තාවන් දෙන්න තුන්දෙනා තියාගෙන ඉන්නවා වගේම සමහර ගෑණුත් පිරිමි දෙන්නා තුන්දෙනා ඇසරු කරනවා අද දකින්න ඕනිතරම් තියෙනවා.. මෙහෙම වෙද්දි සමහරෙක් කියන්න පුළුවං ඌ වැඩ්ඩෙක් හින්ද, ඌ පොරක්, ඌ බඩු කාරයෙක් හින්ද,, ඒකි වේසියක්, ඒකිට අරූගෙන් හම්බුවෙනවා මදි හින්ද වගේ දේවල්.. ඒත් මෙතන ප්‍රශ්ණෙ තියෙන්නෙ පොරක්ද, වේසියක්ද කියන දේ මත නෙවෙයි.. ඒ ඒ පුද්ගලයන්ගේ ආසාවන්, කැමැත්ත හා මානසික පසුබිම මත...

ආගමානුකූලව මුස්ලිම් ආගමේ නීතියට අනුව බහුභාර්යා විවාහ අනුමතයි කියල රස්තියාදුකාරයා අහල තියෙනවා.. ඒකේ පදනම් හා නීති රීති නම් දන්නේ නෑ.. මේක කිව්වේ ආගම් විරෝධී චේතනාවකින් නෙවෙයි.. තත්වේ ගැන කියන්න විතරයි.. ඒ හැර ලංකාවේ අතීතෙ බුහු පුරුශ විවාහ, අන්ත:පුර වගේ දේවල් ගැන කථා නැතුවම නෙවෙයි.. අද වෙද්දි මං මුලින්ම කිව්වා වගේ මේ වගේ දේවල් ලාංකික සමාජය නොපිළිගත්තු දේවල් වෙද්දි ඒවායේ පැවැත්මක් ගැන අමුතුවෙන් ලියන්න ඕනි නෑනේ..

ඇස් මට්ටමින් බැළුවොත් අනියම් සම්බන්ධතාවල වාසි සහ අවාසි දෙකම තියෙනවයි කියල කෙනෙකුට තර්ක කරන්න පුළුවං.. තමන්ට නොලැබුණ, නොලැබෙන දෙයක් ලැබීම වාසියක් වගේම අවාසියක් වෙන්නත් පුළුවං.. උදාහරනෙකට තමන්ට රති කෙලියේ ආසාව තිබිල ඒ දේ ඕනි විදිහට නොලැබුනා කියමුකෝ..ඕන්න අනියම් සම්බන්ධෙකින් මේ දේ ඕනිවාට වඩා ලැබෙනවා.. ඒත් ඒකෙ අතුරු ඵලයක් විදිහට දරු ගැබක් පහළ උනොත් ආවාසියක්නෙ වෙන්නේ.. මෙතනදිත් ඒ දේ බලාපොරොත්තුවෙන්ම කලා නම් අවාසි වෙන්නත් විදිහක් නෑ තමයි..

ඇත්ත ගැන සලකලා බැළුවොත් කාට කාටත් තම තමන්ගේ ජීවත වල අඩු වැඩි වශයෙන් ප්‍රශ්ණ තියෙනවා.. එහෙමයි කියල මේ වගේ දෙවල් වලින් ඒ ප්‍රශ්ණ වලට උත්තර හොයන්න යනව කියන්නේ හද්ද ගොං වැඩක්. මොකද මේකෙන් තියෙන ප්‍රශ්ණ අඩු වෙනව වෙනුවට තවත් අළුත් ප්‍රශ්ණ ඇතිවෙන එකයි වෙන්නේ... 

ඔය කථාවටම තවත් ඌණපූර්ණයක් එක් කළොත්, අපි වයසින් පරිණත වෙන්න වෙන්න අපේ මනස පලනය කරගන්න සහ අපි ඉන්න සමාජ පරිසරය ගැන වැඩියෙන් හිතන්න පටන් ගන්න ඕනි.. හිතන්න බලන්න පියාට අවුරුදු පනස් පහයි. මවට අවුරුදු පනහයි, දරුවට අවුරුදු විස්සක් විතර.. දෙමව්පියො දෙන්න රතියේ යෙදෙනවා අර දරුව දැක්කොත් ඒ දරුවට මොන වගේ හැගීමක් ඇති වෙයිද??? 

ඕනිම පුද්ගලයෙක් අපේ රට ගැන විවෘතව හැබැයි යුරෝපීය රටකට සාපේක්‍ෂව බැලුවොත් අපේ රටේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් සමාජය දක්වන උනන්දුව හා කැපකිරීම බොහෝම අඩුයි කියල තමයි පේන්නේ.. ඇත්තටම කොහෙන්ද අපි මේ ලිංගික අධ්‍යාපනය කියන දේ ලබා ගන්නේ?? මාතෘකාවෙන් එලිය‍ට යන හින්ද වෙනම පෝස්ටුවකින් ලිංගික අධ්‍යාපනය ගැන කියන්නම්..

අනිත් ප්‍රධානතම කාරණයක් නම් අඹු සැමියන් අතර පවතින අන්‍යෝන්‍යය සම්බන්ධතාවය (Communication) බිඳවැටීම.. ‍මේ ක්‍රියාවලිය පටන් ගන්නේ  මේ දෙදෙනා අතර සන්නිවේදන දුර්වලතාවය හින්ද.. විවාහක උදවිය විසින් අනිවාර්ය‍යෙන් පවත්වාගතයුතුයි කියල රස්තියාදුකාරයා අදහන දේ තමයි සන්‍නිවේදනය... බඳින්න කලින් දවසට පැය විසිහතරෙන් පැය දහයක් විතර කථා කරල කෙටි පණිවිඩ හුවමාරු කරගෙන විවාහයෙන් පස්සෙ ටික කාලෙකින් ඒවා නැතිවෙලා යද්දි දෙපාර්ශවයටම යම් යම් මානසික ගැටළු මතුවෙන්න පටන් ගන්නවා.. එතනින් නිතැතින්ම සැකය ඇතිවෙන්න පටන් ගන්නවා.. එතනින් එහාට දෙපාර්ශවය විසින් දෙපාර්ශවයටම ‍චෝදනා එල්ල කරන්න පටන් ගන්නවා.. ඔන්න එතකොට මම මුලින් කිව්ව විදිහට මේ ක්‍රියාවලිය චක්‍රීවය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා..

යම් පුද්ගලයෙක් උතුම් මව් පදවියක්, පිය පදවියක් ලබද්දි (පිළිගත් ක්‍රමයකින්) ඒ ඒ පුද්ගලයන් විසින් යම් යම් සීමා මායිම් වගේ දේවල් පණවගන්න සිද්ධ වෙනවා.. මොකද තමන් දිහා බලාගෙන හැදෙන්න පොඩ්ඩෙක් තමන්නට ඉන්නවා නේද කියන එක.. පොඩි ගැහැණු දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් (සැමියා සිටින විට) ගෙදරදි ‍හෝ ඉන් පිටතදී තවත් පිරිමියෙක් සමග සමග ඇසුරක් පවත්වනවා නම් ඒ දේ දකින අර කුඩා දරුවාත් ලොකු වෙද්දි ඒව‍ගේ ‍දේවල් වලට යොමු වෙන ‍එක අහන්‍න දෙයක් නෙමෙයි..

අද වෙද්දි අපි කොච්චර මේ වගේ කථා අහල තියෙනවාද??? අරකි තරුණ කාලේ එක එකාත් එක්ක ගියා.. දැං ඕං ඒකිගේ දරුවොත් ඒ පාරෙම යන්න පටන් අරන්.. අප්ප කල දේ පුතා නොකළොත් ඌ නොට්ටිගෙ පුතා ළු (ඕකෙ හරි තේරුම මේ කතාවට අදාල නැති උනාට කියන්නේ එහෙමනේ..) ඔය වගේ කථා නං අපිට එදිනෙදා කොච්චර ඇහෙනවද?? අපිම කොච්චර කියල ඇද්ද.. !

ඔය කොයි දේ කිව්වත් ගොඩාක් අනියම් සම්බන්ධකං නිසා කාටවත් යහපතක් වෙනවයි කියල උපකල්පනයක් නං කරන්න අමාරුයි.. එහෙම ඉන්න එවුන්ට පොඩි ආතල් එකක් තියෙන්න පුළුවං(නැත්තං ඉතිං මෙහෙම කොරයියැ ;) ) ඒත් ඒ පුද්ගල චරිතත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අනිත් උදවියට වගේම ඒ ඒ උදවියගේ පවුල් වලට ඒක බොහොම දරුණු ගැටළුකාරී තත්ත්ව ඇතිකරන්න හේතුවක් වෙනවා.. ඒ තුලින් පුද්ගල සමාජ ආසාර්ථක වීම්, පවුල් බිඳවැටීම්, අඩදඹර වගේම දුර දිග ගිය අවස්ථාවන් වලදී ඇතිවන ක්‍ෂණික කෝපය හින්ද දිවි නසා ගැනීම්, ඝාතන වගේ දරුණු ඛේදවාචක දක්වා දිවෙන අවස්ථා තියෙනවා..


ඒත් එක්කම මේක කියවන ඔබත් මොහොතක් කල්පනා කරන්න....

තමන්ගේ සැමියා/බිරිඳ, යාළුවා/ යෙහෙලිය, සහෝදරයා/සහෝදරිය අවාසනාවට කලාතුරකින් අම්ම/තාත්ත මේ වගේ ඇසුරකට යොමුවුනොත් (රස්තියාදුකාරයා තුන් හිතින්ම පතන්නේ එහෙම නොවෙන්න කියල හැමෝටම..) තමන් ‍මොන වගේ තීරණයක් ගනීවිද, තමන්ට මොන වගේ හැගීමක් දැ‍නේවිද?? තමන් ගොඩනගාගත්තු තත්ත්වයන්ට, තමන්ගේ පවුල් දිවියට ඒක කොයි විදිහට බලපායිද? ඒකෙන් තමන්ගේ ආත්මෙට මොන වගේ දෙයක් වෙයිද? තමන්‍‍ගේ අවසන් තීරණේ මොන විදිහ වෙයිද?? ඒ තීරණෙත් එක්ක එතින්න එහාට තමන්ට තමන්ගේ ජීවිතේ කොහොම ගෙවන්න වෙයිද කියන දේවල් පොඩ්ඩක් කල්පනා කරල බලන්න..

තමන් ගන්නෙ මොන තීරනේද... ඒ තීරනේ තමන්ගේ ජීවිතේට, තමන්ගෙන් යැපෙන්නන්ට, දරුවන්ට කොයි විදිහට බලපායිද.. එයාල‍ගේ ජීවිත වලට මේ තීරණේ හින්ද මොන වගේ දෙයක් වෙයිද කියල පොඩිත්තක් හිතන්න බලන්න...

ඔය මොන විදිහට හිතුවත් ඔය වගේ දේකට මුහුණ දුන්නොත් ඉස්සෙල්ලාම හිතෙන්නේ මරාගෙන මැරෙන්න.. !! එපා !! හදිස්සි වෙලා කිසිම ප්‍රශ්ණයක් විසඳ ගන්න බෑ!!! මේ වගේ ප්‍රශ්ණ කාලයට විසඳන්න ඉඩ දෙන්නත් එපා!! එහෙම කලොත් සමහරක් විට හදන්න බැරි වෙන්නම ප්‍රශ්ණ දරු‍ණු වෙන්න තියෙන ඉඩ වැඩියි...

 "නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න එපා"

තමනුත් තමන් ගැනම පොඩ්ඩක් හිතන්න...

මේ වගේ සම්බන්ධකමක් පටන් ගන්න කලින් දෙයියනේ පොඩ්ඩක් කල්පනා ‍කරපල්ල.. තමුන්ට ආතල් එකක් හම්බෙන්න මේකෙන් ඉඩ තියෙයි.. ඒත් දෙයියනේ තමන් මේ ආතල් ගන්නේ වෙන පවුලකට ගින්දරක් දීල නං තමුන්ගේ පවුලේ එවුන්ට ගින්දරක් දීල නං හිතන්න එපා උඹල‍ට හැමදේම හරි යයි කියල.. මේ ලෝකේ දිඨ්ඨ දම්ම වේදනීය කර්ම කියල දෙයක් තියෙනවා.. ඒවා උඹලට පල දෙනවාමයි.. අනික තමුන්ගේ දරුවෙකුට මේ වගේ දෙයක් අහුවුනොත් උං කෝම සමා‍ජෙට මූණ දෙයිද කියල පොඩ්ඩක් හිතපල්ල.. උං උඹලට සාප කලොත් ඒ පව් ගෙවන්න උඹලට මේ ආත්මෙත් මදි කියල විතරක් මතක තියා ගනිල්ලා... 

-රස්තියාදුකාරයා-
Post a Comment