අතහිත

Saturday, July 21, 2012

ප්‍රියාදරියේ....

කොතනකින් පටන් ගන්නද.. කොහොම ලියන්නද කියල හිතාගන්න බැරුව මේ පේජ් එක ඕපන් කරං කොච්චර වෙලාවක් බලාගෙන හිටියද කියල මට මතක නෑ.. උකුල උඩ තියෙන දිනපොතේ පිටුත් එක්ක මං අතීතෙට තීර්ථයාත්‍රා කලා....

....

ලියන්න යන්නේ නෑ මං ඒ අතීතේ ගැන.. පරණ තුවාල හාරන්න හාරන්න අළුත් වෙනව මිස සනීප වෙන්නේ නෑ..

ඒත්, ඒ තුවාල ම‍ට කිව්ව දේවල් ගැන තාමත් මං කල්පනා කරනවා..

ප්‍රියාදරියේ,

ඔබ‍‍‍ට ලියන මේ අවසන් හසුනේ අකුරු අතර සිරවී
රිදෙන තැවෙන සිත සුසුමින් පුරවා මොහොතක් නිහඬ වෙමි..
නිමා කරන්නට ඇසුර අපේ...
(පද වැරදි ඇති.. ඔළුවට ආපු විදිහට ලිව්ව මිස හිතල ලිව්ව නෙවෙයි...)


රස්තියාදුකාරයා මේ ජීවිතේදී වාසනාවන්ත සිදුවීම් ගණනාවක් ලබල තියෙනවා.. මාව හොදට තේරුම් ගත්තු ‍අම්මෙකුටයි තාත්තෙකුටයි දාව මේ ලෝකේ එලිය බලන්න ලැබීම තමයි ප්‍රධාන දේ.. අම්මයි තාත්තයි මට හැම වෙලේම කලේ ඉගියෙන් හැම දේම කියපු එක.. ඒ දුන්නු සමහර  ඉගි තේරුම් ගන්න තරම් හැකියාවක් මට ‍‍නොතියෙන්න ඇති.. එහෙමත් නැත්තං ඒවායින් කියවෙච්චි දේ පිළිගන්න මගේ හිත අකමැති උනාද මන්ද.. මං ඒ ගැන කියවද්දි දෙතුන් පාරක් කියල ඔය දෙන්නා නිහඩවුනේ ඇයි කියල හිතද්දි මට හිතුනේ මං හරි කියල එයාලටත් තේරුණා කියලා.. නෑ.. මුනින් අතට හරවපු කලේකට වතුර පුරවලා වැ‍ඩක් නෑ කියලා ඔයාලා මට කලින් තේරුම් අරන් තිබුන විත්තිය මට දැනුනේ හුග කාලෙකට පස්සෙයි.. ඒ මොනව උනත් ඔයාල මං කිව්ව හැම දේම හොදට අහන් හිටිය.. මං වෙනුවෙන් සෑහෙන්න දේවල් කලා.. ඒත් ඔය දෙන්නා මට හිතාගන්න බැරිවෙච්ච - ‍එහෙමත් නැත්තං මං පිලිගන්න අකමැති වෙච්චි අනාගතේ කලින්ම දැක්ක විත්තය මං දැං තේරුම් අරන් ඉන්නේ...

අනිත් ප්‍රධාන ම දේ තමයි - ඔයා..

ඔව් මේක කියවන ඔයා.. ඔයා දන්නවා මං උඩින් කිව්ව දේ බොරුවක් නොවෙන විත්තිය.. මං අන්ධයෙක් වගේ අඳුරෙ අතපතගාද්දි ඔයා පහන් වැ‍ටියක් වෙලා මගේ ලෝකෙ එලිය කලා.. යන එන මං නැතුව ඔහේ ඉබාගාතේ රස්තියාදුගහපු හිතකට පාරක් පෙන්නුවා.. ඒ පාරෙ යන හැටි කිව්වා.. කරන කියන හැම දෙයක්ම එපා වෙලා ඉදපු ම‍ට ආයෙමත් බලාපොරොත්තුවක් ගෙනාවේ ඔයා.. මං වෙලාවකට මහ අමුතුයි.. කියන්න දෙයක් ති‍බ්බොත් එලිපිටම කියනවා.. මතකද ඔයාම කිව්වා.. ඒ කිව්ව දේවල් හින්ද ඔයා හිතින් දුක්විදපු වෙලාවලුත් තිබ්බා.. ඒත් ඔයා ඒ කිසිදෙයක් මට පෙන්නන්නේ නැතුව හොරෙන්ම හංගං හිටිය.. මං වෙනුවෙන් ඔයා දුක් වින්දා.. කරන්න අමාරු ගොඩාක් කැපකිරීම් ඔයා මං වෙනුවෙන් කලා.. දරුවෙකුට අම්මෙකුටයි තාත්තෙකුටයි මොනම දෙයක් වත් වහං කරං ඉන්න බෑ.. ඒත් ඔයා මං වෙනුවෙන් ඒ ‍දේත් කලා..
අපි ආපු පාර මල් තිබිච්ච පාරක් නෙවෙයි.. ඒත් ඒ පාරට අපිම අපේම මල් පෙති එක්කරල පාට පාට ර‍ටා මැව්ව.. ෆැන්ටසි හීනවලින් එහාට ගිය සමාජය දිහා වෙනස්ම කෝණ වලින් බලපු දෙන්නෙක් විදිහට අපි දෙන්නම පොදුවේ හිතන්න පුරුදු උනා.. කොච්චර නෑ කිව්වත් පුංචි පුංචි ෆැන්ටසි අපිටත් තිබුනා. ඒත් ඒවා සින්තටික් ගතියෙන් තොර වෙච්චි ඒවා කියලයි ම‍ට පෙනුනේ... උදේ පාන්දරට බත් කටක් කවන්න... වැඩට යන්න කලින් පරිස්සමෙන් ගිහින් එන්න.. මේව්වා මට මහමෙරක් තරම් ‍දේවල් උනා.. ඔයා කෑම ගන්නකං මං නොකා ඉන්නත්, මං කන්න බෑ කිව්වාම ඔයා කන කෑම එක නතර කරන්නත් ඊළ‍ග වේලෙදි දෙන්නත් එක්කම ඒ ඇරියස් පිරිමහගත්තුවා.. වැ‍ඩියෙන්ම ඔයා කලේ මං වගේ අනුවණ එකෙක් කියෝපු දේවල් ඔහේ අහන් උන්නු එක.. ඒවාට හූමිටි තිබ්බ එක..

ඔයා මට ජීවිතේ කියන්නේ මොකක්ද කියල ආයෙමත් මතක් කරල දුන්න.. ඒ වගේම අවසාන මොහොත වෙනකම්ම මං ගැන - ආදරේද අනුකම්පාවද එහෙමත් නැත්තං වෙන මොකක්වත්ද නං තාම තේරුණේ නෑ -  පොඩි හරි හැගීමක් තිබුනයි කියලයි ම‍ට නං හිතුනේ... ඔයා අන්තිමේදි මොන විදිහට කිව්වත් ඔයා කරපු දේ හරියි කියල මං කියන්නේ නෑ.. මොකද අපි කථා කරපු දේවල් එක්ක ඔයාට ඕනිම දෙයක් මාත් එක්ක කෙලින් කථාකරල විසඳගන්න හැකියාව තිබ්බ.. මං අතේ ගොඩාක් වැරදි තියෙන්න ඇති.. මං ඔයාට ගැල‍පෙන්නේ නැතුව ඇති.. ඔව් මං පිළිගන්නවා.. ඒත් අන්තිමේදි මංම ඒක තීරණේ කලා..

අපි කව්රුත් වැරදි කරනවා.. වැරදීම මනුශ්‍ය ගතියක් - සමාව දීම දේව ගතියක්.. මං දෙවියෙක් ගති ‍තියෙන පොරක් කියනවා නෙවෙයි මේ.. ම‍ගේ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාට වැරදීමක් හිත් රිදීමක් සිදුඋනානම් මං ඒ වෙනුවෙන් සමාව ඉල්ලන්න කැමතියි..

තව එක දෙයක් මෙතනදි කියන්නම ඕනි... මං ඔයාට අනේක වාරයක් ස්තූති වන්ත වෙනව මට ලබා දුන්නු ඒ ප්‍රීතිමත් කාලය වෙනුවෙන් සහ දුන්නු සුන්දර මතකයන් හැම දේකටම.. ඒවා හැමදාමත් මගේ මතකයේ තියේවි...

අවසානේ කොහොම උනත් ඔයා සතුටින් තියන්න මං හැමදාම උත්සාහ කලා.. ඒක එදා වගේම අදත් අද වගේම හෙටත් තියෙයි.. ඒ ඔයා ගැන මගේ හිතේ තියෙන අවංක පැහැදීම හින්ද..

ඔයා දැං අළුත් ජීවිතයක් පටන් අරන්.. මං මෙව්වා කිව්වයි කියල හිත් අමනාපයක් ඇති කරගන්න එපා.. මොකද මෙතනින් එහාට මේ ගැන කථා නොකරන්න මං අන්තිමේදි තීරණේ කලා..

බබාගේ මූනෙයි හිතෙයි හැමදාම සිනාව ඉතිරෙන, වාසනව සමගින් බලාපො‍රොත්තු සිතුම් පැතුම් ඉටුවෙන සුබ උපන් දිනයක් වේවා...





 (ඔයා ආසම පුංචි දෙයක් - රූපේ ගත්තේ http://www.unioncameraltd.com)
-පොඩි එකා-

රස්තියාදුකාරයාගේ කලින් පෙම්වතියගේ උපන් දිනේ වෙනුවෙන් ලිව්ව පෝස්ටුව තමයි මේ.. ඒත් මේක උපන් දිනේ දවසේ පළ නොකරන්නේ ඔයාව අපහසුතාවයකට පත් කරන්න රස්තියාදුකාරයා අකමැති හින්ද

ජයෙන් ජයම වේවා!!!

මගේ කලින් පෝස්ටුව කියෝපු, කොමෙන්ටු දීපු හැමෝටම ස්තූතියි.. මොකද ඒව හින්දයි මේ පෝස්ටුව ඉක්මනින්ම පළ වෙන්නේ...

Friday, July 20, 2012

පිලිගන්නද - බලාපොරොත්තු වෙන්නද???

පහුගිය අවුරුද්දේ මැයි මාසේදි විතර මගේ අහිංසක ජංගම දුරකථනේ මගේ කන්තෝරු කාමරේ ඉස්සරහදිම බිම වැ‍ටුනා.. ඩිස්ප්ලේ එක ගියා.. 

ඊට මාස දෙක තුනකට විතර පස්සේ මම මගේ මුළු හදවතින්ම ආදරේ කරපු කෙනා යන්න ගියා...

අද මේ දැන් පොඩ්ඩකට කලියෙන් කන්තෝරුව පේන හරියෙදීම මට හාල්පොත වගේ තියෙන ලැප් එකේ බෑග් එකේ පටිය කැඩිල බිම වැටුනා.. ඩිස්ප්ලේ එකේ පිටිපස්සේ කවර් එක දෙකට මැදින් පුපුරලා.. අනේ..

මෙදා පාර මොකක් වෙයිද??? 



Wednesday, July 4, 2012

හොරිකඩ‍යෝ... I

මේ ලිපිය ලිව්වේ ගියමාසේ 12 - 13 වගේ දිනයකදී.. ඒ කාලේ තිබ්බ වාතාවරණය ‍නිසා මේක පළකරන්නවත් මේ පැත්තෙ නිතර එන්නත් බැරිවුණා.. ඒ හින්දා ඔන්න කාලෙකට පස්සේ රස්තියාදුකාරයා නැවතත්...

සැයු. මේ ලිපියෙන් කිසිවෙකුගේ පෞද්ගලිකත්වය‍ට අයීතීන් කෙරෙහි බලපෑමක්, පහරගැසීමක් බලාපොරොත්තු නොවෙන අතර මෙය හුදෙක්ම රස්තියාදුකාරයාගේ පුද්ගලික අත්දැකීම්මත ලියවෙන ලද්දකි.. වැරදි අර්ථකථන වැන්නක් ඇත්නම් හිත් අමනාප නොවී නිවැරදි කරන ලෙසට කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි..!

මේ දවස් වල රස්තියාදුකාරයා වෘත්තීමය වශයෙන් පුංචි පුංචි ගැටළු රැසකට මුහුණ දීලයි තියෙන්නේ.. ඒත් පොසොන් උදාව බොහෝම අමාරුවෙන් ‍පළ කරගත්තා.. ඒකත් සිද්ධවෙන්නේ නෑ අත්තම්මගේ උපන් දිනේ නොයෙදුනානම්... අත්තම්මගේ උපන්දිනේ වෙනුවෙන් පුංචි දානයක් පිළියෙල ‍කරන්න තියෙනවයි කියල ඒ වෙනුවෙන් පුංචි සහයෝගයක් දෙන්න කියල අත්තම්මගේ පුද්ගලික ඉල්ලීමට පිටුපාන්න බැරි හින්දම රස්තියාදුකාරයා අත්තම්මලගේ ගෙදර ගියා.. ඒ අස්සේ මහප්පගේ අවසන් කටයුතුවල ඡායාරූප ටිකත් කස්ටියට බලන්න ඕනෙයි කිව්ව හින්ද ලැපත් උස්සං ගියා.. රෑ දහය විතර වෙද්දි පහුවෙනිදට උයන්න තියෙන දේවල් ලෑස්තිකරල කස්ටියට පොටෝ ටිකත් පෙන්නලා ඉවර වෙද්දි හිතුනා මේ ගමන්ම පොසොන් උදාවත් ලියල ඉවර කලොත් හොදයි කියලා.. එවෙලේම ඒක ලියල පළකරන්න පුළුවං උනේ ඒක හින්ද... නැත්තං තාම ඒක ඩ්‍රාෆ්ට් එකක්....

හරි.. ඒව ගැන නෙමෙයි අද කථාව.. මේ රස්තියාදුකාරයාගේ ජීවන ගමනේ සිද්ධ වෙච්චි සත්‍ය සිදුවීම් කිහිපයක් හින්ද ලියැවෙන පෝස්ටුවක්... මාතෘකාව ටිකක් දරුණු වැඩිද කියලත් හිතෙනවා වෙලාවකට.. ඒ කොහොම උනත් මේ වචන ගැන නොදන්න කෙනෙක් එහෙම ඉන්නව නං මේ පෝස්ටුව පොඩ්ඩක් කියෙව්වොත් ඒ ගැන පොඩි අයිඩියා පාරක් ගන්න පුළුවං වෙයි කියල හිතෙනවා.. 

මේක හරියටම මෙන්න මෙතෙනට මෙයාට අදාල වෙනවයි කියල කියන්න රස්තියාදුකාරය දන්නේ නෑ.. ඒත් මේක රස්තියාදුකාරයාට පෙනිච්ච ‍විදිහටයි ලියැවෙන්නේ.. ඒක හින්ද වැ‍රැද්දක්හෙම තියෙනවානං තරහ ගන්නේ නැතුව කිව්වොත් ගොඩාක් හොදයි කියල හිතනවා.. 

අද වෙද්දි අපි හැමෝම හිතන පොදු කරනාවක් තමයි අධ්‍යාපනය සහ රැකියාව.. ඉගෙනීම හා රස්සාව - අපේ බාසාවෙන් කිව්වොත් හරියට චක්‍රයක් වගේ.. හොදට ‍ඉගෙනගෙන අවසාන ඵලය - රස්සාව.. ඕක මේ කොයි කාටත් පොදු දෙයක් .. අපි හැමෝම මේ මෙච්චර දත කට පූට්ටුකරගෙන ඉගෙන ගන්නේ ඇයි???? කෙනෙක් කියයි මං දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියලා.. තව කෙනෙක් කියයි මං ඉංජිනේරුවෙක් ඔය විදිහට නා නා ප්‍රකාර දේවල්.. ඔය කොයි විදිහට කිව්වත් අපි අපේ ජීවිතවල ප්‍රධාන බලාපොරොත්තුව කරගෙන තියෙන්නෙ රස්සාව.. 

රස්සාව කියන වචනේ නිර්වචනය කරන්න රස්තියාදුකාරය උත්සාහ කරන්න යන්නේ නෑ.. ඒත් අපි රස්සාවක් කරන්නේ ඇයි?? ඒ ප්‍රශ්නෙට කෙනාගෙන් කෙනාට එක එක උත්තර තියෙන්න පුළුවං.. අපේ දෙමව්පියන්ගේ තත්වෙ වෙනුවෙන් මං මේ රස්සාව කරනවා.. අපේ දෙමව්පියෝ කිව්ව හින්ද මේක කරනවා.. අපි ඉගෙනගත්තු දේ හින්ද මේ රස්සාව කරනවා.. අපි ජීවත් වෙන්න මේ ‍රස්සාව කරනවා.. මේ ‍ෆීල්ඩ් එකට මං ආස හින්ද මං මේ රස්සාව කරනවා.. මට වෙන කරන්න දෙයක් නැති හින්ද මේ රස්සාව කරනවා.. මේ උත්තර ‍අතරන් තමන්ගේ උත්තරේ මොකක් උනත් අපි රස්සාවෙන් අපේක්‍ෂා කරන්නේ අ‍පේ ජීවිතේ ලස්සනට ගෙනියන්න යම් දෙයක් උපයගන්න.. මුදල්, අත්දැකීම් වගේ දේවල්.. 

මුදල් - සල්ලි... අද සමාජෙ දිහා බලද්දි සල්ලි නැත්තං ඉතිං සොරිම තමයි කියල ඕනි කෙනෙකුට තේරෙනවා.. ඒ සල්ලි හම්බකරන්න අපි කොච්චරනං දේවල් කැප කරනවාද?? - රස්තියාදුකාරයා මේ රැකියාවල් කියල සහ ඒවායින් උපයන දේවල් කියන්නේ සාධාරණව පවතින නීතියට අනුව අපරාධ වංචා හා දූෂණ ගැන නං නෙවෙයි -. ඒ තුලින් ලබා ගන්න දේවල්වල අගයක් තියෙන්නේ එතකොට.. මොකද හැමදේම නිකංම හම්බවෙද්දි ඒකෙ කිසිම අගයක් නැතිවෙනවනේ....

ඔය ඔක්කොම ඔළුවෙ තියාගෙනම අද හෙඩිම ‍දිහාට ආයෙමත් හැරෙන්නම්.. රැකියාවක් කරද්දි ඒ ඒ රැකියාවට අදාල යුතුකම් සහ වගකීම් කොටසක් සේව්‍ය හා සේවක දෙපිරිසටම පැ‍වරෙනවා.. ඒ කාණ්ඩ දෙකෙන් එක කාණ්ඩයක් හරි ඒ යුතුකම් හා වගකීම් දෙකින් එකක් වත් කඩ කළොත් ඒ ආයතනයේ පැවැත්ම ස්ථිර වෙන්නේ  නෑ කවදාවත්.. ඒක සාමාන්‍ය සිදුවීමක්.. රස්තියාදුකාරයාගේ මුල් සේවා ස්ථානයේ රස්තියාදුකාරයා සේවය කරන කාලයේදී මුලීක වැටුප ඉලක්කම් හතරේ ගණනක්.. නමුත් ඊ‍ට හැමඅතින්ම සමානම රාජකාරී ප්‍රමාණයක් කරන්න කරන්න වෙනත් සමාගමක ඉලක්කම් පහක මූලික වැටුපක් ගෙවනවා.. ඒ දෙවනි ආයතනය ඉල්ලන්නේ පළවෙනි ආයතනයේ මාස හයක සේවා කාලයක් විතරයි.. ඒක තියෙනවානං අනිවා ගොඩම තමයි.. රස්තියාදුකාරයාත් ඔය කිව්ව දෙවනි සමාගමේ සම්මුඛ පරීක්‍ෂ‍ණේකටත් ඉදිරිපත් වෙලා රස්සාවට එන්නෙයි කියල ලියුමත් අරන් ඇවිත් පළවෙනි සමාගමේම නැවතුනා.. ඒ කාලේ වෙද්දි රස්තියාදුකාරයා සේවය කරපු සමාගමට හැමදාම වගේ අළුත් මූණු ආවා.. හැබැයි මාස තුන හතර යද්දි ආයෙමත් ඒ තැන්වලට අළුත් මූණු ... ඕනිම තැනක කාලයක් ඒ ඒ උපකරණ හා වටපිටාව එක්ක සමීප පුද්ගලයන්ට ඒ ආයතන වලින් හොද ඉල්ලුමක් ලැබෙනවා.. ඔය වගේම අපේ සමාගමෙත් හිටිය එහෙම තුන් හතර දෙනෙක්.. එයාලව තියාගන්න සමාගම වෙනමම තනතුරු වලට එයාලව පත්කරපු අවස්ථා එහෙමත් තිබුණා.. 

ඔය කොයි හැටි වෙතත් මේ වෙද්දි රස්තියාදුකාරයා සේවය කරන සේවාස්ථානයේ සේව්‍ය පාර්ශවය මේ සේවක පිරිසට ඉටුවිය යුතු යුතුකම් කීපයක් ලබා නොදීම හින්ද සේවක පාර්ශවය වන අපි රාජකාරියෙන් ඉවත් වෙලා.. අදට දවස් 14(2012 - 06 - 19)... මේ සේවක වැඩ වර්ජනයේ මූලාරම්භය වගේ දේවල් ගැන රස්තියාදුකාරය විස්තර කරන්න යන්නේ නෑ.. කොහොම වෙතත් මේ වර්ජනයේදී සේවක පාර්ශවයෙන් වෙන අඩුපාඩු ටිකක් ගැනයි විස්තර කරන්න බලාපොරොත්තුව....

(මේ කියන්නේ රස්තියාදුකාරයාගේ සේවා ස්ථානය දිහා පමණක් බලාගෙනය.. අනිත්වායේ තතත්වය මීට බොහෝ වෙනස්ය..)

වැඩ වර්ජනය කරනවා කියනදේ මොකක්ද  කොටින් කිව්වොත් සේවා ස්ථානවල කරන සියළුම රාජකාරින්ගෙන් ඉවත් වීම කියල කියන්න පුළුවන්.. මෙහෙම සේවකයෝ සිය දහස් ගණනක් ‍එකට සේවය කරන තැනකදි මේ වගේ වැඩ වර්ජනයක් කියන්නේ සේව්‍ය පාර්ශවයේ කකුල් පණ නැති වෙන්න හේතුවක්.. මොකද හැම වැඩේම අඩාල වෙලා ඒ ආයතන පවත්වාගෙන යන්න බැරි තතත්වයක් ඇතිවෙන හින්ද.. ඒත් අවාසනාවට අපේ අතින් තාම ‍ඒ වැඩේ කෙරිල නෑයි කියල තමයි දුකෙන් උනත් කියන්න තියෙන්නේ.. දැනිලා තියෙනවා.. ඒත් රිදෙන්න ‍දැනිලා නෑ.. 

වැරැද්දට හේතු විදිහට රස්තියාදුකාරයා දකින්නේ මේ වැඩවර්ජනයට එකතුවෙලා තියෙන්නේ ස්ථිර සේවක මණ්ඩලය.. අනියම් හා තාවකාලික සේවක ප්‍රජාව එයාලගේ රාජකාරියේ යෙදිල.. අපි මොකක්ද එයාලට කරන්නේ.. ?? මේ කාර‍නේ අනියම් සේවකයෙකුගේ පැත්තෙන් හිතුවොත් - බොහෝ වෙලාවට ඒ පුද්ගලයන්ට පඩි ලැබෙන්නේ වැඩ කරන දවස් ගාන අනුව.. එන දවස් ගාන වැඩි උනොත් ගොඩ.. අඩු උනොත් බඩු.. අනික සේවා කාලය.. ගොඩාක් වෙලාවල් වලදී ඒ සේවක මහතුන් සේවයට බඳවා ගන්නේ කොන්ත්‍රාත් පදනම මත.. ඒ කියන්නේ සේවා කාලය මාස 03 - 06 - 12 වගේ.. ඒ සේවා කාලයෙන් පස්සේ එයාලගෙන් ආයතනයට තවත් එම සේවය අවශ්‍යයයි නම් සේවා කාලය දීර්ඝ කිරීමකට ලක් කරල තියාගන්නවා.. එහෙම තතත්වයක් තියෙද්දි රැකියාව ජීවිතේ කරගත්තු පුද්ගලයෙක් කීයටවත් වැඩ ‍වර්ජනයකට එකතු වෙයිද කියන ගැටළුව මතුවෙනවා.. අනිත් කාරනේ එයාල දන්නවා එයාලට හිතන්නේ එයාලගේ සේවය ස්ථිර කිරීමක් ලබා ගන්න මේ ව‍ගේ වෙලාවලදී වැඩ කරන එකෙන් ශක්තියක් ලැබෙනවයි කියලා.. එතනදි එයාලට වරදිනවා.. මොකද පාලකයෝ කොයි අවස්ථාවෙදිත් බලන්නේ මේ වගේ දේවල් අල කරන්න.. ඉතිං මේ වගේ අවස්ථාවකදි සේවක කරන තාවකාලික සේවකයෙක් ස්ථිර කලොත් ඒ පුද්ගලයාගෙන් ඊළග අවස්ථාවේදී ඒ සේවය ලබාගන්න වෙන්නේ නැති හින්ද පරිපාලනමය වාසිය මත එයාලව කීයටවත් ස්ථිර කරන්නේ නෑ.. 

අනිත් කාරනේ ස්ථිර කාර්ය මණ්ඩලයේ ඇතුලත ප්‍රශ්ණ.. වැඩ වර්ජනයක් කියල ඉගියක් දුන්න ගමන් පාලනාධිකාරිය බලන්නේ රස්තියාදුකාරය ඉස්සෙල්ලා කිව්ව වගේ ඒක අල කරන්න- අසාර්ථක කරන්න.. ගොඩාක් ආයතන වලදි කරන්නේ වැටුප් රහිත නිවාඩු යවනව - No Pay. ඕකෙ බරපතලකම ගොඩ දෙනෙක්ට ඔය වෙලාවලදි නොතේරෙන්න පුළුවං. ඒත් කාලයත් එක්ක පරිණත වෙච්ච උදවිය නං දන්නවා වැටුප් රහිත නිවාඩුවක් තමන්ගේ නිවාඩු ගොඩට එකතු වුනොත් ඒ පුද්ගලයා ඉදිරියේදි ලොකු අසීරුතාවයකටයි වැටෙන්නේ.. මොකද, ඒ වගේ අවස්ථාවකදි පාලනාධිකාරියට පුළුවං වෙනවා ඒ පුද්ගලයාගේ වැටුප් වර්ධක නවත්වන්න, උසස් වීම් හා ස්ථීර කිරීම් ප්‍රමාද කරන්න.. එහෙම කරල ඒ පුද්ගගයාගේ වැටුප් වර්ධකයක් නැවැතුනොත් මාරුවීමක ගන්න කොට උනත් ඒක ගොඩාක් දරුණු විදිහට හරහට හිටිනවා.. කොහොම හරි මේ වගේ සිද්ධියක් වෙච්චි ගමන්, එහෙමත් නැත්තං ඒවගේ ඉගියක් හරි දැනිච්ච ගමන් කොරන්නේ ගොඩදෙනෙක් තැපැල් කන්තෝරු හොයන් යන එක.. මොකද තාක්ෂණේ දියණු වුනාට තාම වලංගු ටැලිග්‍රෑම් පණිවිඩ‍ නේ..

දැං තමයි සීන් එක... ටැලිග්‍රෑම් පණිවිඩයක් මගින් නිවාඩු ඉල්ලීමක් කලොත් එතනදි ‍වැඩ වර්ජනයක් වෙන්නේ නෑ.. මේ කථාවෙදිත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.. මොකද ටැලිග්‍රෑම් ගහල වර්ජනය කරන වෙන ක්‍රමයකුත් තියෙනවා.. මේ ඒ ගැන නෙවෙයි කියන්නේ.. වැඩ වර්ජනයක දී කෙනෙක් මේ විදිහට නිවාඩු ඉල්ලීමක් සිදුකලොත් ඒ පුද්ගලයා සැලකෙන්නේ රාජකාරියේ යෙදිච්ච පුද්ගලයෙක් විදිහට.. රාජකාරියට අනුව මේ වගේ නිවාඩු ඉල්ලීම් වලංගු වෙන අවස්ථා තියෙනවා.. මෙතන තමයි පොයින්ට් එක.. ඕනිම කෙනෙකුට පුළුවං මේ වගේ දෙයක් කරන්න.. මොකද කව්රුත් දකිනවැයැ.. හැබැයි පස්සේ අහුවෙන එක වෙනම දෙයක්... ඒ වුනත් ඒ වෙද්දි ඒ පුද්ගලයා ‍බේරිලා නේ.. එහෙම කරල ඇවිල්ල අර හැබෑවටම තමන්ගේ රැකියාව උගසට තියල එලියට බැහැල වර්ජනයේ යෙදෙන මනුස්සයත් එක්ක එකට එතනට වෙලා ඉන්නවා.. නිකමට හිතල බලන්න ඒ වගේ දෙපත් නයි වැඩ වර්ජනයකදි වේවා එහෙමත් නැත්තං වෙනත් වැඩකදි වේවා කොයි යම්ම වෙලාවකදී වත් අනෙක් පුද්ගලයෙක් වෙනුවෙන්, අපේ වගේ අවස්ථාවකදී නං - තමන්ගේම නොලැබුනු අයිතියක් ඉල්ලීමකදී වත් ඉදිරිපත් වෙන්නේ නැත්තං ඒ වගේ පුද්ගලයන්ට අපි කියන්නේ මොක්කු කියලද??‍ රස්තියාදුකාරයා දකින හොරිකඩයෝ තමයි උං... 

හොරික‍ඩයෝ අංක දෙක... තමන්ගේ මට්ටමේ හැම සේවකයෙක්ම රාජකාරියෙන් ඉවත්වෙලා සාධාරන වෘත්තීය ‍ක්‍රියාමාර්ගයක නිරතවෙලා ඉන්නකොට තමන්ගේ ලොක්කන්ගෙන් ලකුණු දාගන්න රාජකාරියේ යෙදෙන පිරිස... සමහර දෙනෙක් මේක බොරුවට අර්ථකථනය කරනවා "ස්වේච්ඡා සේවය" කියල.. මොකද සාමාන්‍යයෙන් ඕනිම වෙලාවක පාලනාධිකාරියකට ප්‍රශ්ණයක් දැනෙන්න නම් යම් තැනක රාජකාරි නවතින්නම වෙනවා... එක තැනකවත් රාජකාරිය කෙරෙනෙව කියන්නේ ඒ පුද්ගලායාව නොමරා මරවාලා අර ඉතුරු සිය්ළු ‍දෙනාගේම වැඩ තනි පුද්ගලයාගෙන් ගන්නවයි කියන එක.. ඕනිම වෘත්තීය ක්‍රියාමාර්ග අවස්ථාවකදී ඒ ක්‍රියාමාර්ගයේ නියුතු කොයි යම්ම හෝ පුද්ගලයෙක් රාජකාරියේ හෝ තමන්ට අදාල සේවාවක් ලබා දෙනවා කියන්නේ ඒ ක්‍රියාමර්ගය පාවා දීමක්.. අමු අමුවේ පාවා දීමක් වගේම විරුද්ධ පාර්ශවය නිතරගෙන් දිනවීමක්.. මේක අමූලික ප්‍රෝඩාවක්.. එයාලා කාව රවට්ටන්න උත්සාහ කරනවාද කියන්න නං දන‍්නේ නෑ.. ඒත් රස්තියාදුකාරයාට පේන විදිහට එයාල එයාලාවම රවට්ටාගැනීමක්..‍‍

දෙවනි කොටස ළගදීම...