අතහිත

Friday, June 15, 2012

පොසොන් උදාව හා රස්තියාදුකාරයා.... III

අමුණපු කෝච්චියේ පිහිටෙන් අපි පිටත් වෙච්ච කෝච්චියත් හෙමින් හෙමින් ඉස්සරහට යන්න ගත්ත..

කීනවල ඉස්ටේසමේ ඉදන් මීරිගම ඉස්ටේසමට එනකං අපි ඉබිගමනින් ආව.. එක්ස්-පරස් කෝච්චි ගමනක් කියල ඒකට නං කියන්න බෑ.. මීරිගම ඉස්ටේසමේදි ආයෙමත් අපේ කෝච්චිය නැවැත්තුවෙ අපිට ආයෙමත් ප්‍රශ්ණාර්ථයක් ඉතුරුකරල..

මෙන්න එකපාරටම අපිව තල්ලුකරන් ආපු කොච්චිය ඇමුණුමෙන් නිදහස් කරගෙන ආපස්සට යනවා...

දැං මේක මහා ප්‍රෙහේලිකාවක් වගේ.. අපේ කෝච්චිය තනි කරල එකපාරම ඒ කෝච්චිය පිටත්වෙලා ගියේ අපිට නෝන්ඩි හූවකුත් තියාගෙනමයි.. ඒ කෝච්චිය පිටත් වෙන‍කොටම ඉස්ටේසමේ යකඩ කටින් නිවේදනයක් කියැවුනේ කාටත් "අපොයි" කියවන ගමනුයි..

"දෙවනි වේදිකාවට පැමිණි අනුරාධපුර බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රිය කාර්මික ‍දෝශයක් නිසා ධාවනය නොවේ.. අනුරාධපුරය බලා ගමන් ගන්නා සියළුම මගින් දැන් වේදිකාවට පැමිණෙන වව්නියාව බලා ධාවනය වෙන සීඝ්‍රගාමී දුම්රියට මාරුවෙන්න.. "

දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද?? අපිට හරි විදිහට යන්න තිබ්බ කෝච්චිය...

ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකිය කියන්න වගේ කලින් ගත්තු මෝඩ තීරණේ ගැන පසුතැවි තැවී ඉන්න වෙලාවක් ඒ වෙද්දි ඉතුරුවෙලා තිබ්බේ නෑ... මුළු කෝච්චියෙම හිටි හැ‍මෝම තම තමන්ගේ බඩුමළු එල්ලගෙන වේදිකාවට ගොඩවෙලා ඉවරයි ඒ වෙද්දිත්... කෝච්චිය එනවා පෙනි පෙනී වේදිකාවට ගොඩවෙන්න රස්තියාදුකාරයාට යාංතං පුළුවං උනා..

හැමදේම‍ වෙන්නේ හොදටයි කියන දේ රස්තියාදුකාරයා අදහන දෙයක්.. මේකත් ඒවගේ වෙස් වලාගෙන ආපු ආශිර්වාදයක් කියලයි රස්තියාදුකාරය හිතුවේ.. ‍කාටත් නොදැනෙන්න මල් කාණ්ඩෙ ගොඩවෙන පෙට්ටිය බලාගෙන ඉදල ඒ පෙට්ටිය නැතුවෙ වෙන පෙට්ටියකට කට්ටියම නග්ගෝගන්න පුළුවං උනා.. බවලත් උදවිය නං එහෙං මෙහෙං දාල කෝච්චි පෙට්ටිය ඇතුලට රිංග ගත්ත.. ඒත් එක්කම විස්සවිද්‍යාලෙක ළමයි කීපදෙනෙකුත් අපේ පෙට්ටියට ගොඩවුනා(නම නොලිමයි).. ඒ සෙට් එකේ ගැහැණු ළමයි කීපදෙනෙකුත් හිටි හින්ද රස්තියාදුකාරය පව් කියල එයාලට ඇතුලට යන්න ඉඩ දීලා පාපුව‍රුවේ යන්න තීරනේ කලා... ගැහැණු ළමයි හිටි හින්ද යන්න දුන්න නෙමෙයි.. ඒත් එක්කම එයාලගේ වෙන්න හෝ නොවෙන්න අයිතිකාරයෝ ටිකකුත් හිටියා.. එයාලට කොහොමත් පාපුවරුවේ යන්න බැරි හින්දයි ඇතුල් වෙන්න ඉඩ දුන්නේ..

මේ වෙද්දි මුළු කෝච්චියම පිරිල.. තව මැස්සෙක් වත් දාන්න ආයේ ඒකේ ඉඩ නෑ.. දැං නං හොද ගනන්.. වන්දනාව නිළ ව‍ශයෙන් කට්ටක් වේගන එනවයි කියල ලකුණු එකින් එක පේන්න පටන් අරන් තිබ්බෙ ඒ වෙද්දි..

වව්නියාව කෝච්චිය පරණ එන්ජිමක් (බලවේග කට්ටල ද මොකක්ද) තිබ්බ කෝච්චියක්. හැබැයි කලින් කෝච්චිය වගේ අළුත් පාට ආලේප කරල නොතිබ්බට වැඩ නං තියෙනවා කියල තේරුණා.. මොකද දැං මේ කෝච්චිය කෝච්චි දෙකක සෙනග අරන් නේ යන්නේ..

අපි ආයෙමත් ගමන පටන් ගත්ත.. මීරිගමින්.. මේ ලෝකෙ රහක් නැති ඒකාකාරී පැය ගාණක කෝච්චි ගමනක අපි යෙදුනා... මේ ගමන අනිත් කොච්චියෙන් ආව නං තතත්වෙ මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබ්බ.. ඒත් බය වෙන්න ඉස්සර තරම් බරපතල කාරනා දැං නැති හින්ද හිතට පොඩි සැහැල්ලුවක් නං දැනුනා.. ඒත් කස්ටියට හිටගෙන පැ‍ය ගාණක් යන්න වෙන්න එක ගැන නං ‍පුංචි අවුලක් හිතේ කොනක තිබ්බ..

ඔය අස්සේ මේ ගමන යනවයි කියල දන්න අක්කෙක් කථා කලා.. එයා හිතල තියෙන්නෙ මං තනියෙන් යනවා කියල.. විස්තරේ කිව්ව විතරයි මහ හයියෙං හිනා වෙන්න පටන් ගත්ත.. හිනා වෙලා හිනා වෙලා ඔයා හොද වෙලාවට මල්ලි අම්මලව එක්කං ආවෙ නැත්තෙ කිව්ව.. අම්මලත් එක්ක තමයි ආවෙ කියල මං කිව්වාම අක්කට කියාගන්න දෙයක් නැතිවුනා..

කොච්චියෙ ගෙවිච්චි නීරස පැය හතරක කාලෙ ගැන නං කියන්න දෙයක් නැති තරං.. ඉදල හිටල අර කැම්පස් ළමයි ටික කෑගහපු පාරක් ඇරෙන්න වෙන නං අමුතුවෙං ලියන්න විශේෂ දෙයක් උනේ නෑ.. මොන පුරුද්දකටද, එහෙමත් නැත්තං ඒක එයාලට විනෝදයක් හින්ද කලාද කියල නං දන්නේ නෑ.. ඒ සෙට් එකේ ළමයි කීපදෙනෙක් අපේ කෝච්චි පෙට්ටියෙම වෙනත් ‍දොරකින් නැගල.. අපි හිටි පැත්තේ හිටපු කස්ට්ය එහා පැත්තේ ඉන්න අයට කෑගහල එක එක දේවල් කියනවා.. ඒකෙං එයාල විනෝද උනාට රස්තියාදුකාරයාට නං ඒක තනිකර මෝඩ ජෝක් එකක් වගෙයි පෙනුනේ.. කස්ටිය දෙතුන් පාරක් සිංදු කියන්න පටන් ගත්ත.. ඒත් බලාගෙන ගියාම කස්ටිම මුල් පෙල ගායකයෝ වගේ.. අන්තිමට එතන හිටි කෙනෙක්ගේ ජංගම දුරකථනෙකින් සිංදු ‍ටිකක් දාගෙන ධ්‍යානයකය සම වැදුනා වගේ අහගෙන යන තැනට කස්ටිය පත්උනා.. ‍කෝච්චිය මහව ඉස්ටේසමට එද්දි හොදටම කරුවල වැටිල.. මං මුල් ලිපියෙ දකින්න ආස කරපු බස් කෝච්චිය දැක ගන්න ඒ වෙලාවෙදි රස්තියාදුකාරයට අවස්ථාව ලැබුනා..

මහව ඉස්ටේසමේදි යකඩ කටින් අමුතුම පණිවිඩයකුත් කියවුනා.. ඒක මේ පළාතට කෝච්චියෙන් අළුතෙන් එන උදවියට ටිකක් වැදගත් පණිවිඩයක්.. පණිවිඩෙන් කියැවුනේ මහවින් ඉස්සරට තියෙන පාලම් බෝක්කු ආදිය දුම්රියට ගොඩාක් ආසන්නයෙන් පිහිටල තියෙන හින්ද පාපුවරුවේ යද්දි ප්‍රවේසමෙන් යන්න කියල..

මේ කථාව මේ ගමන පිටත් වෙන්න කලින්ම අනුරාධපුරේ ඉන්න රස්තියාදුකාරයාගේ මිත්‍ර කපිල අයිය කිව්ව.. හැබැයි කිව්වෙ නං "ඕං මලේ කෙල්ලන්ට එහෙම පේන්න වැඩ දාන්න ෆුට්බෝඩ් ගිහින් බෙල්ල කඩා ගන්නවා නෙවෙයි.. මොකද ඔය පාර නොදන්න අය අනිවා ඔය ගොං වැඩේ කරගන්නවා.. ඔළුව එලියට දාගෙන ගිහිං පාලමේ වැදුනාම කඳ ඇතුලෙ.. ඔළුව එලියෙ.. මල්ලි ඕං උඹට නොකිව්වයි කියන්න එපා.. හැම සීසන් කාලෙම එකෙක් දෙන්නෙක් ** පාලමේදි යනවාම තමයි.. (ලස්සන නමක් කිව්ව පාලමේ.. නම නං මතක නෑ..)".

ඔය විස්තර කරපු තාලේ පාලම් තුන හතරක්ම මහව ඉදං අනුරාධපුරේට යනකම්ම තියෙනවා..

රස්තියාදුකාරයාගේ අවවාදය කෝඩුකාරයෝ ‍ෆුට්බෝඩ් යනව එහෙම නෙවෙයි ඕං.. පාපුවරුවේ යන්නම ඕනි නෑ, ජනේලෙකින් උනත් ඔළුව එලියට දාගෙන යද්දි උනත් පොඩ්ඩක් හෝදිසියෙන් ගියොත් හොදයි..

ඔය පාලං තියෙන තැන් ගැන පොඩි ඉගියක් දෙන්නම්.. මේක රස්තියාදුකාරයා දැක්ක දෙයක්.. හැමදාම මෙහෙමද දන්නේ නෑ.. ඒත් රස්තියාදුකාරයා යද්දියි එද්දියි දෙකේදීම මේ කාරනේ දැකපු හින්දයි කියන්නේ.. කොච්චිය අතරමගදි හූ තියද්දි පොඩ්ඩක් හෝදිසියෙන් ඉන්න.. මොකද, රස්තියාදුකාරයා දැකපු විදියට හැම පාලමකටම කලින්ම ඔය හූව ඇහෙනවා (ඇහෙනවයි කිව්වේ හීනෙන් වගේ නෙවෙයි.. කෝච්චියේ ගාඩ්වරයා ‍හෝ රියැදුරුතුමා වෙන්න ඕනි ඔය හූව තියන්නේ..).. ඒ හින්ද පොඩ්ඩක් හෝදිසියෙන් ගියොත් බයවෙන්න කාරියක් නෑ..

රාත්‍රී අට පසුවී විනාඩි තිහේ කනිසමට අපි අනුරාධපුරේට සැපත් වුනා.. මයෙ දෙයියනේ.. ඉස්ටේසම පිරෙන්න මිනිස්සු.. ඉස්ටේසම හරියට විශ්‍රාම සාලාවක් වගේ.. ඉටිකොළ කෑල්ලක් එලාගෙන කස්ටි කස්ටි තැන් තැන්වල නිදි.. ඔන්න දැං තමයි බරපතලම ගැටළුවක් මතුවුනේ.. අපි රෑ නවතින්නෙ කොහේද???

ඔය වෙලාවෙ තමයි එතන රාජකාරියෙ නිරත වෙලා හිටපු දුම්රිය ආරක්‍ෂක මහත්තයෙක් අපේ පිහිටට ආවෙ.. අපිට එතුම‍ට විස්වාසවන්ත ත්‍රිරෝද රථ මහත්තයෙක්ව අදුන්වලා දුන්න.. කොයි දේ උනත් අපේ වාසනාවට අපිට එතුමා මුණ ගැහුන කිව්වොත් හරිය කියල මට හිතෙන්නෙ.. මොකද මේ‍වගේ චාන්ස් එකක් කියන්නේ හොද ගැරිල්ලක්නේ.. හතර වටේ අරන් ගිහින් හොද ගානක් තට්ටු කරන්න පුළුවංනේ.. ඒත් අපිට අදුන්නල දුන්න මහත්මයාත් අපිට ගොඩවෙන්න කලින් කිව්වේ එක තැනක් නං තියෙනවා.. හැබැයි එතනත් මේ වෙනකොට කොහොම වෙයිද දන්නේ නෑ මහත්තයෝ.. මේ ‍පොසොන් කාලේ නේ.. කියල... මේ කිව්ව විශ්‍රාම සාලාව තිබ්බෙ අනුරාධපුර නගරේ මැදම වගේ.. එතන විස්තර අන්තිමට දාන්නම්.. කාටහරි අවශ්‍ය වුනොත් දුරකථන ඇමතුමක් දීලා වෙන් කිරීම් කරගන්න..

එතනට යද්දිත් බස් දෙකක් පිරෙන්න සෙනග ඇවිත්.. අපේ වාසනාවද මන්ද ඒ වෙද්දි ඉතුරුවෙලා තිබ්බ අන්තිම කාමරේ වෙන්කරගන්න අපිට අවස්ථාව ලැබුනා.. කිසිම සූදානමක් නැතුව ඇවිත් කොහොම හරි නවතින්නත් හොද සුව පහසු තැනක් ලැබුනා..

ජය සිරිමා බෝ හාමුදුරුවන්ගේ ආසිර්වාදේ වෙන්ට ඇති.. මොකද රස්තියාදුකාරය අනුරපුරේට කොඩු නෙවැ...

එතන නතර වෙලා පහුවදා (පෝයට කලින් දවසේ - ඉරිදා) අපි උදේ හයට විතර අපේ වන්දනාව පටන් ගත්ත.. අනුරාධපුරේ හොටලේකින් උදේට කාල එහෙම ගියා උඩ මළුවට..

රස්තියාදුකාරය ඇතුළු කාණ්ඩේ වන්දනාව පටන් ගත්තේ රුවන්වැලි මහා සෑයෙන්.. සෑ මළුවට ඇතුල් වෙනකොටම දැනෙන්නේ පුදුමාකාර වෙනසක්.. බොළද කථා උනාට සුජීව ප්‍රසන්න ආරච්චි උන්නැහේගෙ සින්දූර් කථාවෙ කියන්න වගේ මේ පුදබිමට ඇතුළු වෙනකොට හිතට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක්.. සෑමළුවෙ කොනක ඉදගෙන රුවන්වැලි සෑ රජාණන්ගේ කොත්වහන්සේ ‍දිහා බලා ඉන්නකොට දැනෙන්නේ සෑය අපේ ළගට එන්නව වගේ.. ඇත්තම කිව්වොත් ඒ වෙද්දි හිතේ තිබ්බ ගොඩාක් දේවල් හිතෙන් අයින් වෙලා හිතට මහා ලොකු සැනසීමක් දැනෙන්න ගත්ත.. අපිට මෙහෙම නං ඉස්ස‍ර මහරහතන් වහන්සේලා බණ පිරිත් දේසනා කරද්දි ඒ වටේ හිටි සැදැහවතුන්‍ට කොයි වගේ පහන් හැගීමක් ඇතිවෙන්න ඇද්ද කියල රස්තියාදුකාරයාට හිතුනේ නැත්තෙත් නෑ.. කොහොම හරි රස්තියාදුකාරයාගේ මෑණියොයි, චමී අක්කණ්ඩියි දෙන්නත් එක්ක වන්දනා මාන කරන්න පටන් අරන්.. රස්තියාදුකාරයයි, තාත්තයි පොඩි අක්කයි තුන්දෙනත් මළුවෙ කොනක බැම්මට හේත්තුවෙලා වන්දනා කරන්න පටන් ගත්තා.. අම්මලා තරම් වෙලාවක් නං වදින්න මට පුළුවං කමක් නං නෑ.. ඒත් අම්ම වදින දිහාව බලං ඉන්නකොට හිතට දැනිච්ච සන්තෝසෙ කියන්න රස්තියාදුකාරය වචන දන්නේ නෑ..

අපි රුවන්වැලි සෑය වන්දනාමාන කරල ඉවර වෙද්දිම මගේ මිත්‍රය, කපිල අයිය ආව අපිව හොයාගෙන.. ඇවිල්ල අපි ඊළගට යන්න ඕනි කොහොමද, කොහේද කියල කියල දුන්න.. එහෙම නොවෙන්න අපි අලි අමාරුවක වැටෙනවා.. කපිල අයියේ, ගොඩාක් පිං...

ඊ‍ට පස්සේ සිරිමා බෝහාමු‍දුරුවො වැදපුදාගෙන අපි ඉසුරුමුණිය බලන්ට ගියා.. තිසා වැව් තාවුල්ලේ පොඩි විවේකයක් අරගෙනම ථූපාරාමෙ, ලංකාරාමේ, ඇත්‍‍පොකුණ, අභයගිරි සෑය වන්දනා කරපු අපි මහමෙව්නා උයනේ සමාධි පිළිමෙ දිහාට ඇදුන.. ඒ වෙද්දි පොසොන් භාවනා වැඩසටහනක් වෙනුවෙන් මුළු මහමෙව්නා උයන පුරාම මහ විසාල සෙනග කන්දරාවක් ලැගුම් අරන්.. ඒ හින්ද වැඩි වෙලාවක් ඒ තැන්වල ඉන්න පුළුවංකමක් තිබ්බේ නෑ.. සමාධිපිළිමෙ දිහා ආයෙමත් වතාවක් බලල අපි එන්න පිටත් වුනා..

ඒ අතරමග තිබ්බ දන්සැල් දෙක තුනකුත් වන්දනා කරන්න අපි අමතක කලේ නෑ.. අන්තිමේ මේන් මේ දන්සැලෙන් බත්කටකුත් කාල අලි ආයෙමත් උඩමළුවට ආව.. 


ඒ වෙද්දි හැන්දෑවෙ තුනට කිට්ටුයි... සම්පර්ණයෙන් බැළුවොත් කිලෝමීටර් දහයකට වැඩියෙන් උදේ ඉදං ඇවිදල.. පුදුමෙ කියන්නේ කාටත් අමාරු‍වක් නැති එක.. (ශ්‍රද්ධාව හින්ද වෙන්න ඇති මයේ හිතේ)

තුනයි කාලට විතර රස්තියාදුකාරයා අනුරාධපුර ඉස්ටේසමට ආවෙ හතරේ කෝච්චියට ආසන වෙන් කරගන්න.. කොළඹින් එන්න ආසන නැතිවුනාට කොළඹ යන්න ඕනි තරම් ඉ‍ඩ තිබුනා.. දෙවන පන්තියෙ ආසන වෙන් කරගන්න යද්දි රස්තියාදුකාරයාගාව සල්ලි මදි වෙච්ච හින්ද තුන්වෙනි පන්තියෙන් ටිකට් ආසන පහක් වෙන් කරගෙන අනිත් අය එනකං වේදිකාවට වෙලා බලං ඉන්න කොට අපිව අතරමං කරපු පොසොන් වන්දනා කෝච්චිය තියනවා තවත් වේදිකාවක.. හැබැයි අළුත් එන්ජිමක් තිබ්බෙ..

හරියටම හතර වෙද්දි කොළඹ බලා පිටත්වෙන සීඝගාමී දුම්රිය වේදිකාවට ළගාවුනා.. අපිට නියමිත ආසන වලට වෙලා ආයෙමත් කොළඹ බලා එන්න පිටත් වුනා.. හරියටම පැය හතරකුත් විනාඩි තිහකට ආසන්න වෙලාවකින් අපි කොළඹ කොටුව ඉස්ටේසමට ළගාවුනා... !

පාන්දර හතරහමාර වෙද්දි රස්තියාදුකාරය ගෙදරට සැපත් වුනා.. බාධා සියගාණකින් පස්සෙ හීනෙකින් වත් නොහිතපු විදියට අම්මවයි තාත්තවයි අනුරාධපුරේ වන්දවලා එක්කං එන්න ලැබිච්ච එක කොච්චර දෙයක්ද....

රස්තියාදුකාරය ලැගුම් ගත්තු ස්ථානේ ගැන
ලිපිනය :
ශ්‍රී සුගතාරාමය, පොදු වෙළදසැල් පෙදෙස, අනුරාධපුරය.
දුරකථන :
025 - 2223278, 071 - 8416005

සැයු:
මේ අනුරාධපුරේ තියෙන හොදම විශ්‍රාම සාලව නොවෙන්න පුළුවං.. ඒත් කාටහරි ඕනිඋනොත් කියලයි දැම්මෙ.. හැම පහසුකමක්ම තියෙනවා.. මාර්කටින් පාරක් නං නෙවෙයි.. !!

හැම වෙලේම කොහේ ගියත් ඒ පරිසරය හානි වෙන දේ කරන්න එපා..!!

සත්තුන්ට උනත් කන්න බොන්න දෙන්න යන්න එපා.. වැඩ වැරදුනොත් තමන්ටමයි විදවන්න වෙන්නේ..!!

තමන්ගේ ආරක්‍ෂාව තමන් සලස ගන්න.. කරුණාකරල අනුන්ට කරදර කරන චේතනා වලින් මේ පුදබිම්වලට අතුල් වෙන්න එපා.. මේ පුදබිම්වල තියෙන අනුහස් වලින් ඒ අය ගැන බලා ගනීවි..

පුදබිමකට ඇතුළු වෙද්දි ඒ තැන්වලට ගැලපෙන විදිහට ඇදල පැළදල යනව නං ගොඩාක් හොදයි.. !!
 
හැමෝටම ජය සිරිමා බෝහාමුදුරුවන්ගේ පිහිටයි!!!