අතහිත

Wednesday, March 28, 2012

රස්තියාදුකාරයා - ලිප්ටන් සීට් II


පළමු ලිපි දෙකටම බොහොම හොඳ ප්‍රතිචාර ලැබුනා.. ඒ ගැන බොහෝම සන්තෝසයි!! ඒ වගේම ඒව‍යෙ වැරදි අඩුපාඩු පෙන්නල දුන්න හොඳයි සන්තෝසයි කියපු හැමෝටම බොහෝම ස්තූතියි.. ආ.. ඒ වගේම මේ නම මම මේ බ්ලොග් එක‍ට දාපු විදිය කියවපු මගේ හිටපු ආදරවන්තිය කැපිටල් අකුරින්ම එයා ගැන සඳහන් කරන්න එපයි කියල කිව්ව.. (බයවෙන්න එපා.. මම එදා පොරොන්දු වුනා වගේම ආයේ කිසිම තැනක නමක් ගමක් දාන්නෙ නෑ... හැබැයි බයකට නම් නෙවෙයි..) ඉස්සරහ‍ට බලමුකෝ මොකද වෙන්නේ කියල..

පළමු ලිපිය කියවන්න බැරි උන අයට පළමු කොටස මෙතනින්...

කලින් ලිපියෙන් නායබැද්ද තේ ෆැක්ටරිය ළඟින් නතර උනානේ.. අද එතන ඉදන් ඉදිරියට....

එතනින් ඇතුළුවෙන්න තියෙන්නෙ පුද්ගලික වතුයායකට.. එතනින් රුපියල් හතලිහක් ගෙවල ටිකට් එකකුත් අරන් අපි නායබැද්ද වතුයායට ඇතුළු උනා.. රස්තියාදුකාර‍යාට දැනගන්න ලැබුනු විදියටනම් ඒ වතුයාය අයිති ලන්කෙම් ආයතනයට.. “99 අවුරුදු බද්ද” වගේ මොකක් හරි පදනමක් මත තමයි ඒක තියෙන්නේ....

එතනින් ඇතුළු උනාට පස්සේ තනිකරම තියෙන්නෙ තේ වතු, වතු අධිකාරීවරුන්ගේ බංගලා සහ තේ වතු වල වැඩකරන උදවියගේ ගෙවල් තමයි.. හැබැයි කොච්චර දැක්කත් එපා වෙන්නෙ නම් නෑ පොඩ්ඩක් වත්.. ගොඩක් තැන්වල පොඩි පොඩි ඉඩ පහසුකම් තියෙන තැන්වල ලස්සනට එළවළු වගාකරල තියෙනවා දකින්න තිබුනා... එළවළු ටිකක් ගන්න අයිඩියානම් තිබ්බ.. ඒත් ආවේ වෙන පාරකින් නිසා ඒ අදහස අමතක උනා..

ගමන යන්න තියෙන පාර හරිය‍ටම දහ අට වංගුව වගේමයි.. එකම තැන ඇඹරි ඇඹරි යන්නේ.. හරියට එකම තැන යනවා වගේ තමයි.. එක වංගුවක් අරන් පහළ බලපුවාම තියෙන්නේ ආපු පාර.. වැඩි වෙලාවක් බලාගෙන හිටියොත් නම් ඔළුවෙ කැරකිල්ල හැදෙනවා.. ඒත් එක්කම කියන්න ඕනි, ඒ පැත්තෙ තිබිච්ච හැම තේ පඳුරක්ම අපේ පහතර‍ට තේ පඳුරු වගේ නෙවෙයි.. බොහෝම සාරවත්.. පාටත් පොඩ්ඩක් විතර වෙනස්..

හැන්දෑවරුවක මේ පැත්තෙ ආවොත් කළාතුරකින් දකින්න ලැබෙන දර්ශනයක් බලාගන්න පුළුවන්.. ඒ තමයි, දළු කඩල ඉවර කරපු උදවිය තේ වතු වලින් පාරට එන හැටි.. පුද්ගලයගේ හැඩ හුරුකම් කොහොම උනත් එක යායට තැනින් තැනින් එහෙම කට්ටිය එනකොට පුදුම ලස්සනක් තියෙන්නේ.. දැකල තියෙන අය ඉන්නවනම් දන්න‍වා ඒකේ ලස්සන.. අතේ දිග ලාඩප්ප (ගිනිසීරියා කියලත් කියනවද කොහේද..) අත්තක් අරන් මහ විසාල තේ දළු ගෝණියත් ඔළුවෙ තියාගෙන පහළට බහින ලස්සන.. ඒත් සමහරු අතේ ප්ලාස්ට්ක් බ‍ට (අපි කොන්ඩියුට් බ‍ට කියන්නේ) ත් තිබුනා.. ඒක පැහැදිලි කරන්න නම් මට තේ‍රුමක් නෑ....

ඔය පාරෙ යද්දි අපිට මුණගැහැන බයානකම දේ තමයි මීදුම.. අපේ මේ උදේට දකින මීදුම වගේ නෙවෙයි ඒක.. තනිකර හිරිකඩ ‍වගේ වැහි බිංදු වැටෙන මීදුමක්.. අඩි දෙකකට වඩා පේන්නේ නෑ මොන විදියකින්වත්.. අනික කියන්න තියෙන වැදගත්ම දේ තමයි.. ඒ පාරවල් ගොඩක් පළලින් අඩුයි.. වාහන දෙකක් හරවගන්න නම් සමහර වෙලාවට මීටර් පනහක් සීයක් විතර කාට හරි ආපසු යන්න වෙන වෙලාවලුත් අපිට දකින්න ලැබුනා.. ඒක නිසා රස්තියාදුකාරයා කියන්නේ මේ පළාතේ වාහනයකින් එන්න හිතනවනම් හොඳට රිවර්ස් කරන්න පුළුවන් කෙනෙ‍ක් අරන් එන්න.. ඇයි අපේපේ පහළ බැළුවාම තියෙන්නේ තනි බෑවුම.. පොඩ්ඩක් හරි වැරදුනොත් දවසක් විතර පෙරළි පෙරළි තමයි ඉන්න වෙන්නේ... මේක කිව්වේ අපිට දකින්න ලැබුනා ඒ වගේම දළු ලොරියක් ඉස්සරහ‍ට ගන්න බස් ‍එකක් මීටර් ගානක් ආපස්සට ගන්න වුන විදිය.. හැබැයි අපිට පෙනුන විදියට ඒ පැත්තේ උදවිය‍‍ට ඉස්සරහට යනවට වඩා හොඳට පස්සට වාහන ධාවනය කරන්න පුළුවන් වගේ....

දැන් අපි දෙන්නට තවත් ප්‍රශ්ණයක්.. කිව්ව පාර දිගේ ආව ආව ආව ඉවරයක් නෑ.. තවම කෙළවරක් දැක්කේ නෑ.. 

වටේම තියෙන කඳු දිහා බල බල අර කන්න මුදුනේ වෙන්න ඇති මචං.. .නෑ බන් ඕක වෙන්න බෑ.. එතනට මේ පාරෙන් යන්න බෑ බන්.. වගේ කථා කියකියා තවත් කිලෝමීටර් තුනක් විතර ආව.. කොහොම හරි අන්තිමේ අපිට දකින්න ලැබුණා තවත් කිලෝමීටර් 5 ½ කියල තියෙන පුවරුවක් .. ඒක එහෙම කිව්වට ඇත්තටම ගලක පින්තාරු කරල තිබුන චිත්‍රයක් වගේ...

දැන් අපිට ෆුල් හැපි.. ඒත් පොඩ්ඩක් විතර බයකුත් තිබුනා.. තිබුණ මීදුමටයි හීතලටයි කන් එහෙම ලාවට හිරිවැටීගෙන එන්න පටන් ඒ වෙද්දි.. අනික තවත් උඩහට යන්න ඕනි.. හදිස්සියේවත් රෝදයක‍ට මොකුත් උනොත් මොන දෙයියන්ට කියන්නද... ඒ පළාතේ උදව්වකට අඩගහගන්නවත් බාසාව දන්නෙත් නෑනේ.. ඒක නිසා රස්තියාදුකාරයාගේ අවවාදය ඒ වගේ දේවල් ගැන (වාහනයේ බ්රේක්, රෝද වල හුලං, පැච්, අමතර රෝද) මතක ඇතුව ගමනට කලින් විපරම් කරල බලන එක කෝක‍ටත් හොඳයි.. නේද? ..පොඩ්ඩක් හිතන්න ඔහොම විනෝදෙට ගමනක් ගිහින් කාත් කවුරුත් නැති හරියක වාහනේ හුළං වත් ගිහිල්ල අමතර ‍රෝදෙ‍ත් එහෙමම වෙලා තිබ්‍බොත් එතනින් එහාට ඒ ගැන කථාකරල වැඩක් නෑනේ.. ඒත් දෙයියනේ කියලා අපි නම් කරදරයක් නැතුව ගිහිල්ල ආව..

ආහ්.. තව කියන්න තියෙන වැදගත් දෙයක් තියෙනවා.. පුද්ගලික දුරකථන සමාගම් ලංකාව පුරා ආවරණය, අරකද මේකද කිව්වට මේ පැත්තේ සිග්නල් අඩුයි.. මොන හේතුවක් නිසාද ද‍න්නෙ‍් නෑ සිග්නල් මොනවත් නැති තැන් ගොඩාක් තියෙනවා.. ඔය විනාඩියෙන් විනාඩිය තමන් ඉන්න තැන දන්වන්න නියමවෙලා තියෙන උදවිය මේ පැත්තේ එන්න අදහස් කරනවා නම් කලින්ම මේවා ගැන කියල අදාල පාර්ශව දැනුවත් කරල එන්න.. නැත්තම් ඉතින් මාස ගණන් බඩ කට පුරා කයි කතන්දර අහගන්න වෙනවානේ..... 

දැන් ආපහු රස්තියාදුවට.. 

ඊළගට නම් ටිකෙන් ටික ඉස්සරහ‍ට යද්දි අර මම කලින් කිව්ව වගේ චිත්‍රයි, නාම පුවරුයි ගහල තියෙනවා.. එතනින් එහා‍ට පාර හොයාගන්න ලේ‍සියි.... ඔහොම තවත් ඉස්සරහට යද්දි අපිට තුම්මංහන්දියක් මුන ගැහුනා.. එතනට තමයි මම අර මුල් ලිපියෙ කිව්ව හපුතලේ ඉදන් එන පාර සම්බන්ධ වෙන්නෙ.. මෙතනින් එහාට පාර බොහොම අබලන් කියල තමයි කියන්න තියෙන්නෙ. මොකද ඒ පාරේ ටික දුරක් තියෙනවා කොන්ක්‍රීට් කරපු හරියක් .. ඒත් වැඩිහරියක් තඩිගල් ‍ගෙඩි තියෙන පාර...  

කොහොමින් කොහොම හරි අපි අපේ ගමනාන්තයට ළඟාවුනා.. ඔක්කොම ගත්තොත් කිලෝමීටර් දහඅටකට ආසන්න දුරක් ඇවිල්ලා තිබුනා.. අපි ලිප්ටන් සීට් එද්දිත් සැරට මීදුම.. ආපු ගමන් වටේ පිටේ බැලුවා.. ම්හුම්.. තනි මීදුම.. වටේම සුදු සුදු පාටයි... 

දැන් ඉතින් පොඩ්ඩක් විතර අවුල්.. අර නංගියි, අම්මයි කිව්ව දේ ඇහුවෙත් නෑ.. කඩාගෙන බිඳගෙන ආව..  අපි හිතුවේ මේ දවාලේ මොන මීදුමද කියල, ඒත් ආවට පස්සේ තමයි මීදුම කොයිවගේද කියල තේරු‍ණේ... දැන් මොනව කරන්නද?? එතකොට තමයි මතක් උ‍නේ තවම දවල්ට කෑවෙ නෑ කියල... එතන තියෙනවා පොඩි හට් එකක් හදලා.. (පීසා හට් වගේ හට් එකක් එහෙම නෙවෙයි හොදේ..) එතෙනට ගිහින් ගෙනාපු කෑම කනකොට ලාවට අව්වක් පායන්න ගත්ත.. 

තප්පර පහක් යන්නත් කලින් අපි එළියේ..... මගේ රස්තියාදුවල මම දැකපු ලස්සනම දර්ශණයකින් මාව වශී වෙලා ගියා වගේ.... ඒ වෙලාවේ දැකපු දේ ගැන ලියන්න වචන නම් නෑ.. ඇස් පේන මානයේ නිල්පාට වළාකුළුයි, මහපොළවයි එකට එකතු වෙලා වගේ.. වළාකුළු මහපොළව ඉඹිනවා වගේ.. එක යායට මුළු දකුණු පළාතෙ හම්බන්තොට පැත්ත මගේ ඇස් ඉස්සරහ... අහසෙ කෙළවර කොතනද? පොළොවෙ කෙළවර කොතනද කියල හිතා ගන්න වත් බෑ... ඇත්තටම එතන ඒ තරම් ලස්සනයි.. මම මේ කිව්වේ දැකපු එක පැත්තක් ගැන.. ඒ වගේ එතනම ඉදන් ලංකාවේ කාලක් විතර එකපාර බලන්න ලැබුනොත් කොහොමද කියල හිතාගන්න පුළුවන් නේද?

මේ තියෙන්නෙ ඊ‍ට පස්සෙ දවසක ඔය කථාව අහපු තවත් මගේ යාළුවො ටිකක් එක්ක ගිහින් ගත්තු පින්තූරයක්.. මේ පින්තූර දුන්නු මගේ හිතවත් රංජුල දයානන්ද සහෝදරයටත් ස්තූති වන්ත වෙනවා..



මම මේ ලිප්ටන් සීට් කියන්නේ මොකක්ද කියල මෙච්චර වෙලා කිව්වෙ නෑ නේද?? හෆොයි... 

ලිප්ටන් සීට් කියන්නේ කඳු මුදුනක්.. හැබැයි ගොඩාක්ම උස කන්දකුත් නෙවෙයි.. එතන හොයාගෙන තියෙන්නෙ අධිරාජ්‍යවාදී සමයේ ඒ පැත්තෙ කොච්චියෙන් සංචාරයක යෙදුන “සර් ‍තෝමස් ජේ. ලිප්ටන්” කියන පුද්ගලයා.. ඒ 1890 දී..  මෙතන මම දන්න තරමින් මුහුදු මට්ටමේ ඉදන් මීටර් 1566 විතර උසින් තමයි පිහිටලා තියෙන්‍නේ.. දැන් එතකොට බලයි මෙතන මොකද මෙච්චර වැදගත් කියල... මෙතන තියෙන විශේෂ්‍යත්වය තමයි මේ කඳු මුදුනට එන ඕනිම පුදුගලයෙකුට ලංකාවේ පළාත් පහක් එක පාර බලාගන්න පුළුවන්.. ඒ ඌව, සබරගමුව, දකුණ, නැගෙනහිර, සහ මධ්‍යම පළාත්. මම දන්න තරමින් වෙන කොහේවත් එහෙම නෑ..  

මෙතනට එන්න තියෙන හොඳම වෙලාව තමයි උ‍දේ 7 – 9 අතර.. මොකද අර මම කලින් කිව්ව වගේ වෙන වෙලාවල්වල (මහ දවල් 12 ටත්) මෙහේ මීදුම.. ඉතින් වෙන වෙලාවක ආවොත් කිලෝමීටර විස්සක් විතර ඇවිත් නිකම් මීදුම පිරිච්ච කඳු මුදුනකට ආව වගේ වෙනවා.. ඔන්න ඒක හින්ද රස්තියාදුකාරයා ඔයාලා හැමෝටම ලස්සනට ගමන ගිහිල්ල එන්න ඕනි විදිය කිව්ව.. 

ඔය කලින් කියපු වෙලාවක මෙතනට එන ‍ඕනි කෙනෙකුට මීදුම නොතිබුනොත් මධ්‍යම පළාතේ නුවරඑළිය පැත්තත්, සබරගමුවේ ශ්‍රී පාදය ඒ වගේම ඇහැළියගොඩ පැත්තත්, නැගෙනහිර පළාතේ මඩකලපුව පැත්තත්, දකුනේ අළුතින් හදපු වරාය හරියත් බදුල්ල පැත්තත් හුඟාක් ලස්සනට බලන්න පුළුවන්.. අපි ගිය වෙලාවෙ නම් දකුණු පළාත නම් පෙන්න තිබුනා.. ඒත් අනිත් හරිය තනිකර මීදුම..  
කොහොම හරි දෙවනි වතාවේ ගිහින් නම් අනිත් පැතිත් බලාගත්ත.. 

පරිසරයේ ලස්සන එහෙම බලල, එතන පැයක් එක හමාරක් විතර ඉදලා අන්තිමේ අපි එන්න පිටත් උනා..

ඒ පාර අපි තෝරගත්තේ මම කිව්ව තුන්මංහන්දියෙන් අනිත් පැත්තේ පාර.. ඒ කියන්නෙ හපුත‍ලේ පාර... සාපේක්ෂව ඒ පාර අනිත් පාරට වඩා ගොඩාක් හොඳ මට්මක තියෙනවා.. ඒ පාරෙ තමයි “රිච්මන්ඩ් ලේක්” වැවත් තියෙන්නේ.... එකේ විශේෂ්‍යත්වයක් නම් රස්තියාදුකාරයාට හොයා ගන්න බැරි උනා.. පස්සෙ දවසක ඒකත් හොයාගෙන දාන්නම්කෝ...

මම හිතුවට වඩා ගොඩාක් ලිපිය දික්උනා.. ඒක හින්ද ඉක්මනට ඉවර කළා.. ගණන් ගන්න එපා.. වැරැද්දක් තියෙනවා නම්, වෙනසක් වෙන්න ඕනි තැනක් තියෙනවානම්, මෙහෙම උනොත් හොඳයි, මෙහෙම කරන්න එපා වගේ දේවල් තියෙනවානම් කියන්න.. සෑම දෙයක්ම සතුටින් භාරගන්නවා.. බොහොම මහන්සියි.. රස්තියාදුකාරයා දැනට නවතිනවා... අළුත් රස්තියාදුවකින් ළඟදීම හම්බ වෙමු.. 

..රස්තියාදුකාරයා..

Tuesday, March 27, 2012

රස්තියාදුකාරයා - ලිප්ටන් සීට් I

මම මුල් ලිපියෙත් සඳහන් කළා වගේ මේ ගමන ඇත්තටම කලින් සැළසුම් කරල හිතල බලල, සල්ලි එකතු කරල එහෙම ගියපු ගමනක් නම් නෙවෙයි. ‍‍පොඩි රාජකාරි වැඩකට මෑතකදි බණ්ඩාරවෙල පැත්තෙ යන්න සිද්ධඋනා.. ඒ ගමනෙදි තමයි මම මේ කියන්න යන තැනට යන්න චාන්ස් එක ලැබුනේ.. බණ්ඩාරවෙල ඉතින් ලස්සන සීතළ පළාතනේ.. 


බලංගොඩ බදුල්ල පාරේ බෙරගල (වැල්ලවාය පාරට හැරෙන තැන), හපුතලේ පහුකරාම ඊළගට හම්බවෙන්නෙ බණ්ඩාරවෙළ.. අපි බණ්ඩාරවෙලට ආවේ සෙනසුරාදා දවසක... හරිය‍‍‍ටම දවල් දොළහ‍ට විතර.. ටියුෂන් පන්ති එහෙම ඉවරවෙලා පාර දිගේ ඇවිදගන යන නංගිලා එහෙමත් හිටියා.. ඒ විස්තරත් මේකෙ තියෙන්න එපැයි.. රස්තියාදු ගහනවා කියන්නේ ඒවා ගැනත් පොඩි ඇහැක් දාගෙන යන එකටනේ.... 


ඒ පළාතට කොච්චර අව්ව පායල තිබුණත් පරිසරයේ තියෙන්නේ පුදුම වෙනසක්. ඒ පළාතටම ආවේනික සෞම්‍යබවක් තියෙන්නේ.. නුවරඑළිය පැත්ත වගේ නෙවෙයි.. ඇඟට පුදුම වෙනසක් දැනෙන හීනි සීතලක් තියෙන්නෙ.. (ඒ ප‍ළාතේ ගොඩක් ගැණු ළමයි සුදු ඒ නිසා කියලත් සමහරු කියනවා.. ඔන්න මම නම් ඕවයෙ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.. හැබැයි එදා දැකපු දේවල් වලට අනුව ඒ කථාව ඇත්තක් වෙන්නත් ඇති කියලත් හිතුනා... ) 


කොහොම හරි ආපු රාජකාරිය කරගෙන ඉවර වෙද්දි දොලහමාර විතර උනා... නිකම්ම ආපහු එන එ‍කේ තේරුමක් නැති නිසා මමයි මගේ මිත්‍රය, මහේෂ් සහෝදරයයි කල්පනා කළා මේ පැත්තේ රවුමක් ගහන්න, ඇවිදන්න තියෙන තැනක් ගැන.. ඔය වෙලාවේ එතන හි‍ටපු අපේ හිතවත් නංගි කෙනෙක් කිව්වා 


අයියා.. යන්න නම් තැනක් තියෙනවා.. ඒත් මේ වෙලාවේ නම් එතනට ගිහින් වැඩක් නෑ. එහේ යනවා නම් උදේක තමයි යන්න ඕනි.. ආ.. තව මේ දවස් වල ඒ පැත්තට වහිනවා. ඒක හින්ද එහේ ගිහින් නම් වැඩක් වෙනේනෙ නැතිවෙයිකියලා.


(ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවෙ කිව්වලු.. අපිටත් ඕනි උනේ කොහේ හරි ගිහින් එන්නනේ.. අනික ඔය පොඩි වැස්සකට තෙමුනා කියල මොනව වෙන්නද ...)


හප්පේ .. ඕක නම් මොකක්ද? ඕවත් ප්‍රශ්ණද? හරි දැන් කොහොමද එහෙට යන්නේ..” 


කියල ලොකු පණ්ඩිත ‍ටෝක් එකකුත් දාල පාර අහගත්ත.. කොහොම හරි ඒ නංගිගෙ අම්මගේ අවවාදය උනෙත් යන්න එපයි කියන එක.. (කොහෙද ඉතින් උණ පුරුකෙ දැම්මත් අර මොකක්ද එකේ ඇද ඇරෙන්නේ නෑළුනේ..) 


අපිත් ඉතින් එහෙනම් ඕනි දෙයක් උණදෙන් කියලා යන්න පිටත් උණා.. ආපසු බණ්ඩාරවෙල ටවුමට ඇවිල්ල කඩේකින් දවල්ට කන්න දේකුත් අරගෙන (කෑම පමණයි!!) නැග්ග අපේ නිලරථය‍ට.. ඇත්තටම ඒකත් මගේ නම් නෙවෙයි.. මහේෂ් සහෝදරයගෙ.. 


ආහ්.. යන්න හදන තැන ගැන මොකුත්ම කිව්වෙ නෑනෙ... (තාම ලියන්න ආධුනිකයිනේ.. ඒකයි.) අපේ ගමනාන්තය උනේ.... සාංචිමලේ එහෙමත් නැත්නම් ‍ගොඩ දෙනෙක් දන්න කියන Lipton’s Seat” කියන තැන..


මේ ගමන යන්න මම දන්න තරමින් නම් පාරවල් දෙකක් තියෙනවා.. එකක් බණ්ඩාරවෙලින්.. අනික හපුතලෙන්.. අපි යන්න පිටත් උණේ බණ්ඩාරවෙල පාරෙන්..


බණ්ඩාරවෙල ස්ටේෂන් එක පිටිපස්සෙන් වැටිල තියෙන පූණාගලපාරෙ ටික දුරක් ගිහින් ගල්වල හන්දිය” කියන තැනින් නායබැද්ද”  පාරට හැරෙන්න ඕනි.. ඒ පාර දිගේ තවත් කිලෝමීටර් පහක් හයක් විතර යනකොට අපි‍ට හම්බ උනා නායබැද්ද වතුයාය.. ලස්සන සාරවත් තේ වත්තක්.. තේ වත්තක් කිව්වට ඒක දැකපු විදියටනම් අක්කර දෙතුන්සීයක් විතර වෙන්න ඕනි... මේ තියෙන්නේ ඒ නාම පුවරුව..


 

ඕකේ යටින් කුරුස ලකුණු තුනක් පේන්න තියෙනවා නේද? ඕක මටත් ලොකු ප්‍රශ්ණයක් උණා. මොකද ඒවා තිබුනෙ ඔතන විතරක් නෙවෙයි.. ඔය කලින් කියපු පාර දෙපැත්තෙම තියෙනවා ඔය වගේ කුරුස මහ ගොඩාරියක්.. ඒත් මම අහල දැකලා තිබුනු විදිය‍ට නම් කුරුස ලකුණු ඔය විදිහට තියෙන්නේ සුසාන භුමි වල.. මේ පාරක් දෙපැත්තේ මොකද මේවා තියෙන්නෙ කියන එක මහා ප්‍රෙහේලිකාවක් ... පස්සේ විස්තර හොයල බලද්දි තමයි මට දැන ගන්න‍ ලැබු‍නේ ඒ පැතිවල උදවිය‍ගේ සොහොන්කොත් තමයි ඒවා.. ඒවා දකිද්දි පොඩි බයකුත් එනවා නම් තමයි.. ඇයි හරියට කනත්තක් මැදින් යනවා වගේ නේ.. මම මෙහෙම කියන්නේ අපහාසයකටවත් කා‍ටවත් ගැරහීමකට නම් නෙවෙයි හොදේ... 


ඒ හරියෙ වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ දමිල උදවිය.. සිංහල අයත් ඉන්නවා.. පෙනුන හැ‍ටියට නම් වැඩිපුර ප්‍රතිශතයක් ඉන්නවා ඇත්තේ කතෝලික දමිල අය මං හිතන්නේ.... 


ඔය විදියට නායබැද්ද තේ වත්ත මැදින් යද්දි ඇහැ‍ට දැනෙන්නේ පුදූම සනීපයක්. ඇස් වලට කොළපාට දකින්න හොඳයි කියනවනේ.. ඇත්තම කිව්වොත් අපිට පොඩි අන්ෂුවර් ගතියක් ති‍බුනේ.. ඇයි මීට කලින් ගියපු පාරකුත් නෙවෙයි... පාර අහගන්නත් හරියට බෑනේ... කොහොම හරි පුංචි ළමයි ටිකක් පාර අයිනේ සෙල්ලම් කරන තැනක් දැකල මම කිව්ව 

වාහනේ පොඩ්ඩක් නවත්තපං මචං.. පාර හරිද කියල බලන්නකියල.

තංගච්චි, ලිප්ටන් සීට් එංග පෝරේන්

කියල ඇහුව.. ඇත්තටම ඒ අහපු විදිය හරිද වැරදිද කියලවත් මම දන්නේ නෑ.. දන්න‍ දෙමලෙන් ඇහුව..  කොහොම හරි මම අහපු දේ පොඩි ළමය‍ට තේරිලා එක පාරකට අත දික්කරල පෙන්නුවා.. අපිට මාර හැපී දැන්.. ඇයි මෙච්චර වෙලා ආව පාර හරි කියල තේරුණානේ... මගේ යාළුවට පික්සු වගේ, ‍මගේ දිහා බලන් ඉන්නවා.. 


ඈ බං, උඹට දෙමලත් පුළුවන්ද??”

මං දන්න දෙමලක් නෑ බං.. ඔය හොන් එක පොඩ්ඩක් ගහල යමං ඉක්මන‍ට” 

කියල මමත් ෂේප් උනා.. ඇත්තටම මමත් හරි හමං දෙමලක් දන්න කෙනෙක් නෙවෙයිනේ(අහල තියෙන විදියෙන්ම තේරෙනවනේ)... ඔය ටිකවත් අහන්න පුළුවන් උනේ මම කලින් වැඩකරපු ඔපීසියේ යාළු‍වන්ට පිංසිද්ධ වෙන්න.. අපේ සෑමා ත් ඒකෙම සාමාජිකයෙක්නේ...


ඔන්න ඔහොම ඇවිල්ල අපි ආව ලිප්ටන් සීට් වල බණ්ඩාරවෙල පැත්තෙන් හම්බවෙන පළවෙනි පිවිසුම ගාව‍ට.. ඒ‍ක තියෙන්නේ හරියටම කියනවානම් නායබැද්ද තේ කර්මාන්තශාලාව ගාව..