අතහිත

Tuesday, December 25, 2012

අනාගතය....

උදාවුන නත්තල ලෝක වාසි සියළු කිතුණු බැතිමතුන්ට සුභ නත්තලක් වේවා කියල රස්තියාදුකාරයා ඉතසිතින්  ප්‍රාර්ථනා කරනවා.. නත්තල් වලට ගම් රටවලට ගියඅය වගේම ගෙවල් වල ඉදං නත්තල් සමරපු උදවිය අපේ පංගුව අරන් එයි කියල හිතනවා ඔන්න .. ;)

*********************************

ක්‍ෂණිකවම මා වටා පරිසරය අදුරු වීගෙන යන සෙයක් ‍දැනෙන්නට විය.. වාරු දීමට කිසිවක් අත පොවන මනායේ විද්‍යමාන නොවන අයුරින් භෞතික ලෝකයේ සියල්ල මාකෙරෙන් ඈත්ව යන බව දැනෙන්නට විය.. දස දෙසින් කළු වළාවන් මා වටා ‍එතෙන්නට වූයේ පාලු සුසානයක මා දවා හළුකරන්නට පන්දම් දල්වාගත්වුන් ලෙසින්ය.. කළු වලා අතුරින් බෙරී එන්නාවු ලා පැහැති කටුක ආලෝකය මාගේ ආත්මයේ සියළුම සිදුරු මාගේ අවසන් මොහොතට පෙරාතුවම පුරවා මාගේ සිතේ ඇදුණු සියළු සිතුවම් එකිනෙක දවා හළුකිරීම අරඹා හමාරය.. අතාත්වික පරිසර රා‍මුවකට කොටුවී තාත්වික ලෝකයත් අතාත්වික ජීවිතයත් අතර ඇති  සබැදියාව පසක් කරන්නට මෙන් විටෙන් විට හද වත ගැහෙන්නට විය..

මේ මාගේ අවසානය වන බව වේදනාවෙන් වුවත් වටහා ගැනීම අසිරූ නොවීය.. ඉදින් මේ වේදනාත්ම මරණය මා තවත් සුළු මොහොතකින් වැළද ගනු ඇත..

හීන් සීතලක් මා ව‍ටා දැවටෙනු දැනෙන්නට විය.. අප්‍රාණික සරීර කූඩුවේ බර කෙමෙන් කෙමෙන් පහවී යන්නට විය.. සිතිවිල්ලේ ඇළුනු මනස කලාන්තරයකින් නොලද විරාමය ලබන්නට සූදානම් වෙනු පෙනෙන්නට විය.. දීප්තියෙන් දැල්වූනු නෙත් සගල සිදී ගන පොකුණක් මෙන් ක්‍රම ක්‍රමයෙන් වියැකෙන්නට පටන් ගෙන ඇත.. අතොරක් නැතිව වදන් වැල් ගැලපූ මුව සම්පූණයෙන්ම වියැලී මලානික වෙමින් ඇත.. මදින් මද ගැහුණු හදවත එක් වරම නතර විය...

ඔව් ඒ මොහොත උදාවිය..

මා වටා සිටිය වුන් පැමිණ මාගේ අවසන් කටයුතු සිදුකල යුතු අයුරු පිලිබද තර්ක විතර්ක ගෙනෙනු ඇත.. ජීවිතයේ සිටි සමීපතමයන් කීපදෙනාගේ දෑස් වල හදවතින් උපන් කදුලක් මතුවනු ඇත.. ඒ කදුළු දෙන ඉහත්තාවේ දැල්වෙන පහන් දැල්ලේ මලානික එලියට දි‍ලිසෙමින් දෙකොපුල් මතින් ඇදෙනු ඇත.. කදුල පිසදැමීමට තරම් සිහියක් ඔවුන් කෙරෙන් දිස් නොවෙනු ඇත.. අයෙක් පැමිණ දෙණ අදළින් හීන් හුළං ඇතිකරමින් කැරකෙන පංකාවෙන් පෙරලී ගිය මගේ මිනී ඇදුම යලි සකස් කරනු ඇත.. ජීවිතයේ ආලෝකයත් අඩුවන්නා සේ අඩුවන පහන් එලිය නැවතත් තිරිහන් කරන්න ට අයෙක් බලාපොරොත්තු නැමති තෛලය වත්කරනු ඇත.. එහෙත් අසුරු සැනින් ඒ තෙල් පොදත් ගිල ගත්තාවූ තිරය දැවී හළුවී යනු ඇත.. යථාර්තය නැවත නැවතත් පසක් කරමින් ජීවිතයේ අපේ අඩුව පුරවන්නට මෙන් වෙනත් තිරයක් නැවතත් පහණට වැටෙනු ඇත.. ඒ අපි ‍ගමන අවසන් වුවත් අපෙන් හිස්වූ අඩුව තවෙකුකෙ‍ගෙන් පිරවෙන ධර්මතාවයට එකගවීමකි..

එක් වරම පසෙකින් දරුණු විලාප හඩක් ඇසෙනු ඇත.. සන්නිවේදනයේ ජයග්‍රහනයකින් අවසන් මොහොතට පෙර පැමිණීමට හැකිවූ අයෙක් මගේ නිසල දේහය මතට නැගීගෙන යලි මා අවදි කරන්නට උත්සාහ දරණු ඇත.. රැක‍වලේ සිටි මුර සෙබළු ලෙසින් පිරිසක් පැමිණ ඒ තැනැත්තා දෙන අසලින් ඉවත් කිරීමට පියවර ගනු ඇත.. කොනකින් අපේ මතකයන් හා එක්වී සිට අයෙක් කඩහඩ අවදි කරනු ඇත... අපි එකට කල කී දෑ ගැන කථන්දර කියද්දී අනෙක් උදවියත් හෙමි හෙමින් එදෙසට කිට්ටු කරනු ඇත.. වැඩිහටි උදවියත් කාටත් නොදැනෙන්නට කණින් කොනින් අහුලාගත් පද එකතු කරමින් මගේ ජීවන මගේ ‍වැරදීම් හුවා දක්වමින් තවත් ඉදිරියට නොලියවෙන මගේ ජීවන මග මහා බාධක පවුරු යොදමින් අවහිර කරනු ඇත..

විතෙන් මත් වූ අයෙක් පැමිණ අපි දෙදෙන එකට කල වික්‍රමයක් කියන්නට සැරසෙනු ඇත.. තවත් පිරිසක් එදෙසට ඇදෙන විට තවත් අයෙක් ඒ පුද්ගලයාගේ වලපල්ලට ගිය දෙමාපියන්ටද සාප කරනු ඇත..

හදිස්සියේම එළියේ අටවා තිබූ මඩුවේ තිබූ පුටු ඉවත් කරන්නට පිරිස සූදානම් වෙනු ඇත.. බිමට පැදුරු එළනු ඇත.. සුදු පැහැති රෙදි අතුරා සංඝයා වෙත අසුන් පනවනවා ඇත.. යලිත් වරක් මගේ ළබැදියන් තුලින් හීන් ඉකියක් මතු වනු ඇත. දෙනට ඉහළින් මෙතෙක් පනවා තිබූ වියන් ඉවත් වෙනු ඇත.. ජීවිතේ අපි අපිට ඉහලින් අටවාගෙන තිබූ නම්බු නාම තානාන්තර තවත් ක්‍ෂණයකින් ඉවත් වන බව අවධියෙන් සිටිනවුනට අවබෝධ කරවන්නට ඒ කරුණ ප්‍රමාණවත් වනු ඇත.. සැබෑ ‍ලෝකයෙන් වෙන් වීමට තවත් තත්පර කිහිපයක් ඉතිරිව ඇති බැවින් අයෙක් මගින් ඉඩදී ඉවත් වෙනු ඇත.. මාගේ සගයන් විසින් නැවත වරක් මා මා හට අවසානයේ උරුම නිවැරදිම ස්ථානය වෙත මා රැගෙන යනු පෙරාතුව නැවතත් පුහු ‍ආටෝපෙන් පිරුණු දැවමය ආවරණයකින් මා වසනු ඇත.. කෙමෙන් කෙමින් සිව් කොනන් එසවෙන දෙන එලියේ අටවා තිබූ මඩුව කරා සෙමින් ගමනින් ඇදෙනු ඇත..

ජිවිතයේ අනියත බව නැවත වරක් සිහිකෙරෙමින් මවිසින් කළ කී දෑගැන අයෙක් කඩහඩ අවදි කරනු ඇත. එහෙත් මා වෙනුවෙන් පැවති කාළය මේ වනවිටත් ඉක්ම ගොස් බව හැගුණු අයෙක් ඒ සියල්ල නවතා නැවත වරක් මා මේ ලෝකයට පෙනෙන්නට විවෘත කරනු ඇත.. සිතල වූ දෙපතුල් අසල මෙතෙක් වෙලා තනි රැකි පිණිබිදු එකි නෙක මාගේ ආත්මය පිරිසිදු කරන්නට මෙන් මා ව‍ටා දැවටෙනු ඇත.. දරදඩු වූ මගේ නිසල සිරුර වෙත පැමිණි උන් දෑස් දල්වා බලා සිටිද්දී මාගේ ජීවන ගමනේ කොටස් කරුවන් වූවන් පැමිණ නිසල සිරුර ස්පර්ෂ කරමින් සීතලෙන් ඉවත්වෙන වෙන්වෙන මා හට ඔවුන්ගේ උණුසුම ලබා දීමට කටයුතු කරනු ඇත..

ජීවන මගේ මාගේ කාන්සිය නිවාලූවන් කෙමෙන් කෙමෙන් ඉවතක් බලාගෙන දෑසේ නැගි කදුලු ලොවට හොරා පිසිනු ඇත..

ආරම්භයක්‍ මෙන්ම අවසානයක් ද ඇති බව පසිදුවාලමින් නැවතත් ආටෝපයන් ගෙන් වටවූ ආවරණ‍යක් මා වටා එතෙනු ඇත.. කෙමෙන් කෙමෙන් මා මේ පොලෝ තලයෙන් ඉහළට එසවෙනු ඇත.. එ පසුපස ඇදුණු පිරිසත් කෙමෙන් කෙමෙන් මගේ සුසාණය අසලට රොක් වනු ඇත.. සුදු පැහැයෙන් දිදුළණ වට පිටාවකට සෙමෙන් මා ඇතුළු වෙනු ඇත..

අප සැමට උරුම වූ මහපොලොවට මම මගේ ජීවිතය පුදනු ඇත.. අවසන් සුභ පැතුම් ගෙන එන්නට මෙන් එකිනෙකා පැමිණ දෙනට ඉහලින් හීන් පොද වැස්සක් මෙන් පස් අහුරු වස්සවමින් ඔවුන් හා තිබූ සබදකම් සිද දමනු ඇත.. 



 
***

Friday, December 21, 2012

ළග උන්නට කෝම අදුනගන්නද..


අද මේ අපි දකින ලෝකෙ විනාස වෙනවළු නේ.. අනේද කියන්නේ .. ඒක හින්දද මන්ද මිනිස්සු මාර විදිහට වෙනස් වෙලා.. මේ කියන්නේ රස්තියාදුකාරයා අම්බානක අප්සට් ගිය කේස් එකක්.. (එකක් කියල පටන් ගත්තට ලියන්න ගත්තාම ඒ වගේ කේස් දෙක තුනක්ම සෙට් උනා..) මේක ලියන්නේ ඇයි කියල කාට හරි ප්‍රස්ණයක් ඇති උනොත් ඒකටත් උත්තරේ දීලම වැඩේ පටන් ගන්නනම්.. අපි කොච්චර ලගින් ආස්‍සරේ කරත් ඒ මිනිස්සුන්ව අපිට හරියට අදුනගන්න බෑ.. එකට කෑවත් බොක්ක වෙනස් කියල කථාවට කියන්නේ නිකංම නෙවෙයි.. ඒ කියන හැම දේකම මහ ගැඹුරු තේරුමක් තියෙනවා.. අන්න ඒ වගේ එකට කාල බීල ඉදලා අන්තිමේ දී "කාපු පතේම පහරනවා" වගේ සිද්ධි ටිකක් ගැන තමයි අද රස්තියාදුකාරයා කියන්නේ.. මේ කියන්නේ එක එකාට පහර ගහන්න නෙවෙයි. මේකට අදාලයි කියල කාට හරි හිතෙනවා නං තමුන් කරන දේ අනිත් මිනිස්සුන්ට දැනෙන්නෙ කොයි වගේද කියලා හිතා ගන්න පුළුවං වෙන්නයි මේ ලියන්නේ..

-මේකෙන් අදහස් කරන්නේ නෑ මම සුද්ධ වන්තයෙක් කියලා.. මගේ අතිනුත් වැරදීම් සිද්ධ වෙලාතියෙන්න පුළුවං.. ඒත් මේ කියන්නේ හිතාමතාම කරපු දේවල් ගැන. -

රස්තියාදුකාරයා කාලයක් කොළඹ පුද්ගලික ආයතනයක රස්සාවක් කලා.. මේ කාලේ රස්තියාදුකාරයා නතර වෙලා හිටිය බෝඩිම අවට හිටියා රස්තියාදුකාරයා වගේම රස්තියාදුවට සෙට් වෙච්ච ගැන්සියක්.. එහෙම කිව්වට උං වෘත්තිමය රස්තියාදුකාරයෝ නෙවෙයි.. දැං නං ලොකු ලොකු තැන් වල වැඩ මං දන්න තරමින්. අපි සෙට් එකම ඒ කාලේ එකට සෙට් වෙලා තමයි කරන තරං මගෝඩි වැඩ කලේ.. එකපාරක් සෙට් එකේ හය දෙනෙක්ම කොන්ඩෙ නෝට් එකට කපල රැවුල වැව්වා.. හිතාගන්න පුළුවං නේ පාරක තොටක බැහැල යද්දි හය දෙනෙක් එකම විදිහට. ඔය කාලේ අපේ සෙට් එකටම තිබ්බා එකම ජාතියේ ඇදුං අදින පිස්සුවකුත්.. ඇන්දෙ වැඩි හරියක් කලු වගේ අදුරු පාටමයි.. පෝයවල් වලට ගංගාරාමෙ පැත්තෙ ගියපු වෙලාවට පන්සලට වදින්න පුදන්න එන උංගේ සීලෙත් බිදෙනවා අපි සෙට් එක දැක්කාම.. (පන්සලේ නං ජෝගි දැම්මේ නෑ.. බොහෝම සැදැහැ සිතින් පිරිත් නූලක් එහෙම බැදගෙන පැත්තකට වෙලා පනසලට එන ලස්සන ගෑණු ළමයි දිහා බලං හිටි එකමයි කලේ..)‍‍ 

ඒ කාලේ රස්තියාදුකාරයා වැඩකරන වෙලාව උනේ හවස දෙකහමාරේ ඉදං දහයහමාර වෙනකං.. ඉතිං කස්ටිය වැඩි හරියක් සෙට් උනේ ‍රෑට.. ඔය කාලේම රස්තියාදුකාරයාගේ ආදරණීය කොම්පියුටර් රාජයා බෝඩිමට සැපත් උනේ.. ඕක ගෙනාවට ඕකෙං මං මහ ලොකු දෙයක් කලේ නෑ.. ඇත්තම කිව්වොත් කරන්න උනේ නෑ.. මං රෑ වැඩ කරල ආවට පස්සේ කස්ටියත් එක්ක කොහේ හරි රස්තියාදුවක් ගහනවා.. නැත්තං කොහේ හරි කඩේකට ගිහිං පරාට, රයිස් වගේ මොනා හරි බඩට දාගෙන අනිවාර්යෙන්ම ඇපල් සෝඩා එකකුත් බඩට හලාගෙන ඇවිත් දොයි තමයි කලේ. උදේට ‍නැගිටිද්දි කෝමත් 9 පහුවෙනවා.. උදේට ඕටී වැටුනොත් රෑ කීයට ආවත් ආයෙම හය හමාරට ඔපිසීයට යන්න ඕනි හින්ද වේලස්සන නැගිටිනවා.. ඉතිං ඔය වගේ කාලසටහනකට වැඩ කරද්දි ගෙනාව කොම්පියුටරෙන් වැඩක් කරගන්න වෙලාවක් තිබ්බෙ නැති තරම්..  

කොහොම හරි ටික දවසක් යද්දි ම‍ට තේරුනා මං නැති අතරේ මගේ මැෂින් එක වැඩ කරල තිබුණ විත්තිය.. සමහර දවස් වලට මොනිටරේ පවා රත් වෙලා.. මුං ඇවිත් මගේ පුද්ගලික දේවල් ඇදල තියෙනවා කියලත් මට තේරුනා.. මැෂින් එක කියන්නේ තමන්ගේ තියෙන හොද ම සේප්පුවනේ මේ වෙද්දි. ඒ වගේම මටත් ඒ කාලේ හැටියට සෑහෙන්න වැදගත්‍ දේවල් ගොඩාක් ඕකෙ තිබුනා.. එක දවසක් බලද්දි එහෙම ෆයිල් දෙක තුනක් මිසිං.. මං මොකුත් කියන්න ගියේ නෑ.. කාගේ හරි අතින් වැරදිලා මැකෙන්න ඇති කියලා..  තව දවසක් බලද්දි මගේ ඒ කාලේ ඉදංම තිබුණ විනෝදාංසය වෙලා තිබ්බ ෆිල්ම තිබුණ ෆෝල්ඩරයක්ම ඩිලීට් වෙලා.. අනේ ඇහුවාම කව්රුත් මැෂින් එක දාලවත් නෑ.. ඒ කාලේ මට තිබ්බ විස්වාසෙට පාස්වර්ඩ් එහෙම මොකුත් දාල තිබ්බේ නෑ.. කොහොම හරි වැඩේ තේරුණට පස්සේ සෙට් එකේ මට ළගින්ම ඉදපු එකෙකුට සම්පූර්න විස්තරේ කියල වෙනමම යූසර් එකවුන්ට් එකක් හදලා ඒකට රීඩ් ඔන්ලි විදිහට සෙටින්ස් හැදුවා.. ඔහොම ටික දවසක් ගියා.. අවුලක් නෑ.. කස්ටිය මම ඉන්න වෙලාවටත් ඇවිත් මැෂින් එකේ ගේම් ගහනවා.. උංගේ වැඩ කරගන්නවා.. හරියට උංගේ එකක් වගේ.. මුං ඉතිං මගේ බොක්ක වගේනේ කියල මමත් මොකුත් කියන්න ගියේ නෑ. අඩුම තරමේ මුං මොනාද කරන්නේ කියලවත් හෙව්වේ නෑ.. 

දවසක් මම රෑ වැඩ ඉවර කරල එද්දි ම‍ගේ ඇඩ්මින් එකවුන්ට් එක මුං හැක් කරලා.. පාස්වර්ඩ් මාරු කරලා.. මට දැං ඌරුජුවල්.. කොහොම හරි පාස්වඩ් කඩල ලොග් උනා.. මං ඒකාලේ එක පාටිෂන් එකක්ම වෙන් කරලා තිබ්බේ ෆිල්ම් වලට.. මං පට්ට විදිහට ආදරේ කරපු ෆිල්ම් 60කට කිට්ටු ගානක් ඒ පාටිෂන් එකේ තිබ්බේ.. ඒ පාටිෂන් එකම ෆෝමැට් වෙලා.. ! ඒ මදිවය ඕ එස් එකත් කචල්.. මට දුකට කෑ ගහල අඩන්න හිතුනා.. මං කෝමහරි උපරිම උත්සාහ කලා ආපසු නැති වෙච්ච ඒවා හොයාගන්න. රිකවරි කරන අය දන්නවානේ ගොඩ වෙලාවට රිකවර් කලාට පස්සේ වීඩි‍යෝ ෆයිල් එන්නේ දෙක තුනක් එකක් වෙලා.. ඔය වගේ ජ‍රා කේස් වෙන හින්ද මම ඒ වැඩෙත් අත් ඇරියා.. කොහොම හරි මම අළුතින් ඕ එස් එකත් ගහල ඩ්‍රයිවර්ස් එහෙමත් දාල ඉවර වෙද්දි පාන්දර 3ටත් කිට්ටුයි.. මං එදා උදේ හයේ ඉදං වැඩ කරලයි ආවෙත්. අම්බානක නිදිමතේ හිටියේ.. කොහොම හරි ඕඑස් ගැහුවට පස්සේ මට අමතක උනා යූසර් එකවුන්ට් එකක් අරින්න.. එදා උදේ කව්රුත් ආවේ නෑ බෝඩිම පැත්තේ.. එදා වැඩට ගිහින් එද්දි අනේ දෙයියනේ මැෂින් එක ඔන් වෙන්නේ නෑ.. හොයල බලද්දි සීපීයු එකේ පවර් ඔන් කරන ස්විච් එක කඩලා.. බෝඩ් එකේ පින් දෙක ෂෝට් කරල ඔන් කරන්න නං පුළුවං කම තිබ්බා. ඒත් මට මේ කරපු දේ දරාගන්න බැරි උනා.. මගෙත් එක්ක එකට කාල බීල ඉන්න එවුන් මට මෙහෙම කලාම.. පහුවදා උදේම මැෂින් එක පාර්සල් කරල ගෙදර ගෙනාවා.. එදා බිදිච්ච යාළුකම අදටත් හරි ගිහින් නෑ..  අද උනත් මූනිච්චාවට කථා කරාට උංගේ හිතෙත් තියෙනවා එදා කරපු දේ.. මමත් දන්නවා මුං මට කලේ මොකක්ද කියලා.. ඊට ටික කාලෙකට පස්සේ පොඩි එකෙක් ඇවිත් මට සේරම විස්තරේ කිව්වා.. ඌත් ඒ‍ වෙලාවේ එතන ඉදලා.. ඒ පැත්තේ හිටියා ඔය වගේ වැඩ කරන්න පුළුවං එකෙක් ගෙන්නලා ඌට කියල ම‍ට අම්බානක කුණුහරුපෙන් බැනලා මගේ එකවුන්ට් එක හැක් කරලා පාස්වර්ඩ් මාරු කරල පාටිෂන් එක ෆෝමැට් කරල තියෙන්නෙ. ඕක මට කිව්ව එකාත් එදා උන්ට සපෝට් කරලා පස්සේ උංටික අර පොඩි එකාව කපලා දාල. ඒ තරහ පිරිමහන්නයි මට ඇවිත් කිව්වේ..

ඔහොම හෙමින් සැරේ කාලේ ගෙවිලා මෑත කාලෙකදි මගේ ඥාතියෙකුගේ මළ ගෙයක් යෙදුනා.. ඒකත් ටිකක් දුක්බර කථාවක්.. ඒ නැති වෙච්චි තැනැත්තා ළග අන්තිම මොහොතේ ඉදියේ අපේ තාත්තා. තාත්තා උදේ කථා කරල කිව්වා පුතේ වෙලාවක් තියෙනවානං උදේ පොඩ්ඩක් ඇවිල්ල යන්න.. ටිකක් විතර ලෙඩාට අමාරුයි වගේ කියලා.. ඒ සැනින් මට පිටත් වෙන්න වෙලාවක් තිබ්බේ නෑ.. වාසනාවට  ඒ වෙලාවේ මගේ පිහිටට ආවේ මගේම සහෝද‍රයෙක් වගේ හිටි මහේෂ් සහෝදරයා. එයාගේ බයික් එකේම දෙන්නත් එක්කම ගිහින් ලෙඩා බලල ආපසු ඇවිත් පැයක් ගත වෙන්න ඇති. දෙවනි ඇමතුමෙන් කියවුනේ ලෙඩා අන්තරා උනා කියලා.. ඒ පණිවිඩේ එද්දිම මට කරකියාගන්න‍ දෙයක් නැති උනා.. ආයෙමත් මගේ පිහිටට ආවේ මහේෂ් සහෝදරයාමයි.. ඇදුං කෑලි දෙකකුත් බෑග් එකක ඔබාගෙන අපි ආයෙමත් මල ගෙදර පිටත් උනා.. යන අතරමගදි කල්පනා කලේ ඉතුරු වැඩටික කොහොමද කරගන්නේ කියලා.. මගේ හිත කියෙව්වා වගේ යන ගමන්ම මහේෂ් සහෝදරයා මගින් නවත්තලා මම ඉල්ලන්නෙත් නැතුවම සෑහෙන ලොකු මුදලක් මට දුන්නා.. එදා ඒ කරපු උදව්වට මතක් වෙද්දිත් මගේ ඇහැට තාම කදුළු උනනවා.. ඒ සල්ලි හින්ද නෙවෙයි.. එදා පෙන්නපු මනුස්සකමට. මල ගෙදර යද්දි හිටියේ තාත්තයි මායි විතරයි. කොහොම හරි පවුලෙ අනිත් අය එද්දි‍ ගේ ඇතුලේ කරන්න ඕනි වැඩ ටිකයි, මල ගෙදර කෙරෙන්න ඕනි හැම මූලික වැඩක්මයි කරගන්න මට පුළුවං උනා.. පං‍පොරි ‍ගැහීමක් නෙවෙයි.. ඒත් සමහර වෙලාවල් එනවා අපිට ඒ වගේ ‍දේවල් කරන්න ම වෙන... ඒත් එක්කම මහේෂ් සහෝදරයා වගේ යාළුවෙක් ලබන්නත් මං වාසනා කරල තියෙනවා..

දැං මේ පෝස්ටුව දාන්න ආසන්නම හේතුව.

රස්තියාදුකාරයාගේ දැං රාජකාරි කරන තැන අපිත් එක්ක කීප දෙනෙක් එකට නැවතිලා ඉන්නවා.. මේ අය ගැන ඩිනර් එකේ දි කියල ඇති. අපිට නවාතැන් ගන්න දීලා තිබුනු තැන්වල නීතිමය ව‍ශයෙන් ඉන්න පුළුවං එක කාමරේ එක් කෙනෙකුට විතරයි.. ‍ගජේ ගැහීම් බෑ.. අපිත් එක්ක වැඩ කරපු හැමොටම කාමර හම්බෙලා තිබුනෙත් නෑ.. සමහරු එලියේ බොඩිං වල එහෙම නැවතිලාත් හිටියා. ඒත් අපේම එකෙක් පිට ඉන්නවා නේද කියල කල්පනා කරලා දැනට නැවතිලා ඉන්න හැමෝම කථා කරල මං මේ කියන්න යන කෙනාට නවාතැන් ගන්න චාන්ස් එකක් අරන් දුන්නා.. කොහොම හරි මේ ‍සිද්දිය හින්ද අපි හිටපු ක්වාර්ටස් වල නිල අයිතිකාරයෝ වෙච්චි අපි කීප දෙනෙකුටම වෘත්තීය සංගම් නිලධාරියෝ එක්ක ගැටුම් පවා ඇතිකරගන්න උනා.. ඒ මොනව උනත් අපි ඔක්කොම එක මතේක හිටියා මුං ටික තියාගන්නවා කියලා.. කොහොම හරි අන්තිමේදි උංගේ ම කිරියා පටිපාටිය හින්ද කාමර වලින් යන්න උනා.. අඩුම තරමේ යන කොට යනවයි කියල කියලවත් යන එක නේද සිරිත.. අපිත් එක්ක එකට කාල බීල ආතල් අරං ‍ජොලි කරලා එහෙම නොකියා ගියාම කොයි වගේ දැනෙනවාද කියල හිතා ගන්න පුළුවං නේ.. 

දවසක් රස්තියාදුකාරයයි තවත් යාළුවෙකුයි කාමරේට එනවා කඩේ ගිහින් ටිකක් විතර රෑ වෙලා.. ඒ එද්දි අතර මගදි මම ඔය කිව්ව යාළුවා තවත් කෙනෙක් එක්ක කථා කර ඉන්නවා.. මේ අපි යන එන පාර අයිනේ.. අපි දකිද්දිම අනේ අහක බලනවා..! අපි කථා කරයි කියලද? නැත්තං අපි උන්ට මොනව කලාටද? ඒකත් හා කියමුකෝ.. ඊයේ හැන්දෑවේ රස්තියාදුකාරයා වැඩ ඇරිලා එද්දි ඔය කිව්ව මිත්‍රයා ඉස්සරහට එනවා. මාත් ඉතිං යාළුවෙක් හින්ද අතවැනුවා..ඒත් අනේ දැක්කෙ නෑ වගේ අහක බැළුවා.. ‍ එතකොටම එයාගේ බොසාගේ වාහනේ ඇවිත් එතන නතර කලා.. දැං මෑන්ස් මගේ ඉස්සරහම වාහනේ ඉස්සරහින් වාඩි උනා.. වාහනේ යන්නේ මං ආපු පැත්තට.. මං යන්නේ වාහනේ ආපු පැත්තට.. ඉතිං මගේ ඉස්සරහ නාට්‍යය හොදට පේනවා. දැං යාළුවා එනවා වාහනේ ඉස්සරහ නැගලා.. මං හිතුවේ ඉස්සෙල්ලා අත වැනුවාම දකින්න නැතුව ඇති කියලා.. ඒ හින්ද ආයෙම වාහ‍නේ මා ගාවින් යද්දි හැරිලා බැළුව කථා කරන්න.. බොසා ම‍ට හෝන් එකකුත් ගහල අතත් වනාගෙන ගියා.. අනේ ඉස්සරහ සීට් එකේ හිටි එකා නෙවෙයි පැත්තවත් බැළුවෙ.. මට ඔය කව්රුවත් අත පය වැනුවෙ නැති උනා කියාල පාඩු වෙන්නෙ වත් ලාබ වෙන්නේ වත් නෑ. ඒත් මනුස්සයා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියන දේ අදුන ගන්න මේක ගොඩාක් හොද වෙලාවක් කියලයි මට හිතුනේ.. මං කාමරේට ඇවිල්ල මේ ගැන අනිත් අයත් එක්ක කථා කලාම එයාලටත් මේ වගේ දේවල් කීප පාරක් වෙලා තියෙනවා.. අන්තිමට ඉතිං හැමෝම කිව්වේ ඔන්න දවසකටවත් මිනිස්සු කියලා...


වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
මනු ලෝ තලයේ වාසනාවන්

වල්මත් වූවන් දැක මහ වන මැද
යා යුතු මාවත පෙන්වා
ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
ඉටු දෙවියන් ලොව සිටිනා

කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
මුවගේ හසරැළි රඳවා
තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
පුද දෙමු දෙවොලට කැඳවා

චන්‍ද්‍රලේඛා පෙරේරා/ සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ (රේඛා ටෙලිනාට්‍යයෙන්..) 

http://blog.leadingresources.com/66/good-people-bad-partners-conflict-resolution-through-good-governance-policy

Friday, November 16, 2012

මම ආදරය කරමි...



ජීවිතය පටන් ගත් දා සිට
අප දන්නේ හඬන්නට පමණද?
මට එසේ සිතෙන්නේ
මන්දැයි මමවත් නොදනිමි..
කෙසේ වෙතත් මේ දිවියේ දී
මේ දක්වා කරන ලද
හැම දෙයක් දෙසම
විවෘත වෑ දෑසකින් බැළුකල
අවසානයේ ඉතිරි වී ඇත්තේ ද
කඳුල පමණක්මය...

කඳුල තුලින් උපන්
හෑම දේකටම
මම බොහේ සේ
පෙම් කළෙමි..
කඳුළින් උපන් දේ
මට මහමෙරක් දේ කියාදුනි
මට වැරදුනේ කොතැනද
මට කළයුතුව තිබුනේ කුමක්ද
මගේ තීරණ වල සාධාරණත්වය රැඳී තිබුනේ
එම කඳුළු වලය.
අවසානයක් නොමැති කඳුලක
නිමා කල නොහැකි පද වැලක්
මම ලියා ඇත..
මෙහි නිමාව කොතැනද?
නැතිනම් මෙය තවත් කඳුලක ඇරඹුමද?

මම ආදරය යනු කුමක්දැයි
අකුරු කළ අයෙක්මි..
ඒ පහන් දැල්ලෙන්ම
සරුවාංගයම දවා ගත් අයෙක්මි
ගින්නෙන් බැට කෑ එකා
ගිනි පෙනෙල්ලටත් බය යැයි කියන්නේ ‍ඇයි ද
යන්න මට දැන් වැටහීගෙන එන්නේය..

මා දන්නා පමණින්,
මා ආදරය හඳුනන පරිදි,
මා පැතූ ආදරය
මෙසේ හිමිවීම
මට
සිතාගත නොහැක්කෙමි..
ආදරය යනු වචන වලින් වත්
වෙනත් යමකින් වත්
ලැබෙන්නක්/ ලබන්නක්
නොව
ඔබේත් මගේත් එකතුවින්
ගොඩනැගිය යුත්තක් බව
මම අදහමි..
 

ඉඳින්,
මේ වීදුරු මාලිගාව තැනීමට
 
මම අත්තිවාරම් දැම්මෙමි..




Monday, November 5, 2012

උත්සවයට පෙර .. II සංග්‍රහය

ඕන්න පොරොන්දු උනා වගේම උත්සවයකට පෙර දෙවනි කොටස අරන් ආවා. - ප්‍රමාදය ගැන කණගාටුව..!

පළවෙනි කොටස කියෙව්වෙ නැත්තං මෙතනින් කියවන්න

අද කියන්න යන්නේ සංග්‍රහය ගැන.

මේ වෙද්දි ගොඩාක් දෙනා උත්සවයක් කියන්නේ හොදට කන්න බොන්න තියෙන තැනක් විදිහට හිතන්න පුරුදු වෙලා තියෙනවා.. මේක උත්සවයක තීරණාත්මක අවස්ථාවක් Turning Point  එකක් වෙලා. මේ හේතුව නිසා උත්සවයක් සංවිධානයකදි සංග්‍රහය ගැන සෑහෙන්න හිතන්න පුරුදු වෙලා තියෙනවා ඒ වගේම හිතන්න ඕනි වෙලා තියෙනවා..

සංග්‍රහය කියන දේ උත්සවයකදී හෝ මොනයම් අවස්ථාවකදීවත් කෑමෙන් බීමෙන් විතරක් මනින්න බෑ.. අපි උත්සවයකට හරි ගෙදරකට හරි , වෙන කොහේහරි ගියත් අපිව පිළිගන්න විදිහෙනුත් මේ සංග්‍රහය මැනෙනවා.. උත්සවයක් හරි ඒ වගේ දේකදි නං ඒ දේට සහභාගීවෙන පුද්ගලයෝ ඇතුල්වෙන තැනදිම පිලිගන්න ‍පුද්ගලයෙක් යෙදවීම සාර්ථක සංග්‍රහයකදී අනිවාර්යෙන්ම කෙරෙන්න ඕනි දෙයක්.. ඒ තැනට ගොඩාක් වෙලාවට ප්‍රියමනාප පුද්ග‍ලයෙක් යෙදීම වඩාත්ම උචිත වෙනවා.. රස්තියාදුකාරයා ව‍ගේ උදවිය මේ වගේ තැනකට දැම්මොත් නං ඉතිං වැ‍ඩේ කොට උඩ! අද නං ලස්සන හීනියට බඩ පේන්න ඇගට හි‍රවෙන සාරියක් ඇදපු මූණ පුරා එක එක පාට තවරපු ලලනාවෝ ඒ වගේ නැන්වල ව්‍යාජ හිනාවල් වලින් මූණු පුරෝගන ඉන්න අවස්ථා අපි එමට දැකල තියෙනවා.. ගොඩාක් වෙලාවට ඒ පුද්ගලයෝ දන්නේ නෑ එතන කෙරෙන්නේ මොන වගේ දෙයක්ද කියන දේ වත්.. ඒකෙ වැරැද්දක් කියනවා නෙවෙයි.. ඒ උනාට අපි හැම වෙලේම සංවිධානය කි‍රීමේදි සරල වෙන්න ඕනි.. (අවස්ථානුකූලව) ඒවගේම යොදවවන පුද්ලගයා සබකෝලෙ නැති කෙනෙක් වෙන්න ඕනි.. ඕනිම පුද්ගලයෙක් ඉස්සරහට කෙලින්ම ගිහින් කථා කරන්න බැරිනම් ඒ යොදවන පුද්ගලයාගෙන් වැඩක් නෑ වගේම ඒ පුද්ගලයා අසාර්ථක නම් එතනින් එහාට සංවිධානය වෙන දේවල් ගැන සහභාගීවෙන පුද්ගලයෝ පසු වෙන්නේ එච්චර පැහැදීමකින් නෙවෙයි..

Always try to give the best impression on the first site !

මේ කාරනාව අපේ ජීවිතවලටත් එකතුකර ගන්නවා නම් මේ ලෝකේ මීටත් වඩා ලස්සන වෙන්න තිබ්බ..

මේ ගැන පුංචි උදාහරන දෙකතුනකුත් දෙන්නම් කෝ..

සරලම තැනින් පටන් ගන්නම්... මේවා රස්තියාදුකාරයාගේ තියරි මිස පොත පතේ තිබ්බ ඒවා නෙවෙයි .. ඒ හින්ද වැරදි තියෙන්න පුළුවං.. ඒ හින්ද මං කියන දේ දේව සත්‍යය කියල හිතන්න එපා.. ඒවායින් තමන්ට ඕනි දේ තමන්ට ඕනි විදිහට කපල කොටල හරිගස්සල ගන්න.. එතකොටයි තමන්ට උවමනා විදිහට වැඩේ කෙරෙන්නේ..

අපි අපේ ගෙදරට එන අමුත්තෙක් වෙනුවෙන් පිලිගැනීම කොහොමද කරන්නේ..?

අපි හිතමු ඇවිත් දොරට තට්ටු කලා කියල.. අපි කොච්චර හදිස්සි වැඩක යෙදිල හිටියත් ආරාධිත පුද්ගලයෙක් රස්තියාදුකරවන්න , දොරක් ළඟ හිටගෙන ඉන්න ඉඩ තියන්න එපා.. තව දෙයක්, නොදන්න කෙනෙක් ඇවිත් ගෙදර දොරට තට්ටු කරල කව්රු හරි ගැන අහනවා.. අපි මොකක්ද කරන්නේ.. ? දොර ඇරල ඒ පුද්ගලයා ගැන දන්නවානං කියනවා නැත්තං දන්නේ නෑ කියනවා.. (හිතාමතාම දන්නේ නැති වෙන වෙලාවළුත් නැත්තේ නෑනේ..) ඊට පස්සේ අපි මොකක්ද කරන්නේ.. ඒ මනුස්සයා/ කාන්තාව අනිත් පැත්ත හැරෙනවාත් එක්කම දොර මහා හයියෙන් වහනවා (Slam) ඒක නිකං ඒ පුද්ගලයට කරන අගෞරවයක් වගේ රස්තියාදුකාරයා දකින්නේ.. ඒ වගේ අවස්ථාවකට මුහුණ දීපු කෙනෙක් ඉන්නවානං දන්නවා ඇති ඒ වෙලාවට කොයි වගේ හැගීමක්ද ඇති වෙන්නේ කියලා..

ඒ පුද්ගලයා පොඩ්ඩ දුරක් යනකං පොඩ්ඩක් ඉවසන්න.. ඒක ඒ මනුස්සයාට සැලකීමක් වගේම තමන්ගේ ගෙදර ලස්සනට වවල තියෙන  මල් පැලයක් වත් ආරක්සා කර ගන්න පුළුවං අවස්ථාවක් ;)

ඒ වගේම විවාහ මංගලෝත්සව, අවමංගල, වැඩිවිය පැමිණීමේ වගේ උත්සව වලදි ඒ ඒ පළාත්වලට ආවේනික සුවිශේෂී ක්‍රම වලට අනුව පිළිගැනීම සිද්ධ කෙරෙනවා.. අපි මළ ගෙදරක් ගැන මුලින්ම තීරණයක් ගන්නේ දේහයට අවසන් ගෞරව දක්වන්න කලින් ඉන්න පිරිස සහ ඇතුල් වෙන තැන ආමන්ත්‍රණය කරන්න ඉන්න පිරිස මත.. මංගලෝත්සවයකදී නං මනාල/ මනාලි දෙපිරිසෙන් එක් පාර්ශවයක දෙමව්පියන් දෙදෙනා, ඒ දෙදෙනා ජීවතුන් අතර නැත්තං වැඩිමහල් සහෝදර සහෝදරියෝ.. වැඩි විය පැමිනීම් ගැන නං ඇත්තටම දන්නේ ගොඩාක් අඩු වෙන්..

රස්තියාදුකාරයගේ යාළුවෙක් එක්ක එක ගමනක් ඇඹිලිපිටිය සූරිය වැව පැත්තේ ගියා ඔය වගේ ගමනක්.. ඒක ඇත්තටම දැනගෙන ගිය එකක් නෙවෙයි.. යාළුව කථා කරා එයාලගේ යාළුවෙක්ගේ පාටියක් තියෙනවා කියලා.. ට්‍රාන්ස්පෝර්ට් එහෙමත් හම්බුනා.. ඉතිං ගියා... ගියාට පස්සේ තමයි දන්නේ ඒ අතවනා ආවේ කොහේටද කියලා.. අපේම වෙලාවට එතන හිටිය තවත් යාළුවෙක් එයාගේ වෙන්න නෝනා වෙනුවෙන් අතේ බඳින ඔරලෝසුවක් ලස්සනට ඔතාගෙන ඇවිත් තිබ්බ.. ඒ වෙලාවෙ හැටියට අපිට කරන්න තිබ්බ හොඳම වැඩේ හින්ද ඔ‍රලෝසුව දීල ශේප් එකේ කාලා බීල එතනින් මාරු උනා..

තවත් වැදගත් කාරණයක්..

තමන් කොයිම වෙලාවකදීවත් යන්නේ කොහේද, මොකටද, එතන ඉන්නේ කව්ද කියන කාරනේ නොදැන කිසිම උත්සවේකට සහභාගී වෙන්න එපා.. තමුන් යම්කිසි තැනකට/ උත්සවේකට ගියාට පස්සේ තමුන් එතනට ගැලපෙන්නේ නෑ කියල තේරිලා අපහසුතාවයකට පත්වෙනවාට වඩා ඒ වගේ තැනකට නොගිහින් තමුන්ගේ කාඩ් එක තියාගෙන හිටියනං ඒක තමුන්ට වගේම ඒ උත්සවේ ඉන්න යටත් ලොකු සැනසීමක්.. මේ කියන්නේ අත්දැකීමෙන්..!!!

දැං මාතෘකාව කන්න බොන්න දෙන සංග්‍රහය..

පොදුවේ කථා කරනවට වඩා මේක අපි හිතමු අපි රාජකාරි මට්ටමින් රැස්වීමක් පවත්වනවා.. ඒකට තමුන්ගේ රාජකාරි ස්ථානයේ ලොකු ලොක්කෝ එන්නේ කියලා.. ඒ වෙලාවට තමුන් කල්පනා කරන්න ඕනි ප්‍රධාන දේ තමයි වෙලාව..

උදේ නං උදේ තේක හෝ/ සහ උදේ කෑම (ගොඩාක් වෙලාවට මේක සිද්ධ වෙන්නේ නෑ.. මගුල් ගෙවල්, මල ගෙවල්, වැඩි.. , විවෘත කිරීම්, ගෙට ගෙවිදීම්, අකුරු කියවීම් වගේ අවස්ථාවලට තමයි වැදගත් වෙන්නේ.. ඒකෙදිත් ඔය කිව්ව අවස්ථා වලට වෙන් වෙන් වෙච්චි කෑම වට්ටෝරු තියෙන හින්ද ඒ ගැන වැඩිය වද වෙන්න ඕනි නෑ..)

දවල් වෙලාවක නං, අනිවාරයෙන්ම සිසිල් බීම එකක් හරි තේ/ කිරි ‍තේ එකක් වගේ දෙයක් සමග සැහැල්ලු ආහාරයක් වගේම දිවා ආහාරය. ආහාර ද්‍රව්‍ය සංවිධානයේදි තමුන්ගේ පොකට්ටුව ගැන හිතන්න ප්‍රධාන වශයෙන්ම.. ලොකු උත්සවේකදී වගේ නං, බජට් එක.. මොකද අපි දරන්න බැරි වියදං දරල පාඩු සිද්ධ කරගන්නවාද.. එහෙමත් නැත්තං පුළුවං විදිහට කරල ලස්සනට ඉන්නවද කියන කාරනේ අපිම තීරනේ කරන්න ඕනි.. හිතේ ආසාවල් තිබ්බට ප්‍රායෝගික ‍ලෝකෙදි ගොඩාක් වෙලාවලට ඒ හැම දේම කරන්න අමාරු විත්තිය සංවිධායක වරයෙක් මුලින්ම අවබෝධ කරගන්න ඕනි.. තවත් දෙයක්.. ආහාරය දෙන පුද්ගල කාණ්ඩේ ගැන හිතල ආහාරේ තීරනේ කරන්න..

මස් මාළු නොකන හාමුදුරුවරුන්ට දානේ විදිහට චිකන් කෑල්ලක්, මාළු කෑල්ලක් දිල පව් පුරෝ ගන්නවාද? මුස්ලිම් ආගම අදහන කෙනෙකුට එයාල නොකන මස් වර්ගයක් දීලා වාර්ගික ප්‍රශ්ණයක් ඇතිකරගන්වාද වගේ කියන හැම දේම තීරනේ වෙන්නේ තමුන්ගේ ක්‍රියාවෙන්..

මංගල උත්සවයක් ගත්තොත් මානමාලිට පස්සේ වැඩියෙන්ම කථා වෙන්නේ කෑම සහ බීම ගැන.. අවමංගල උත්සව වලදි මේ වෙද්දි මැරිච්ච පුද්ගලයාට වඩා කව්රුත් හොයන්නේ දෙන කෑම ගැන.. අද නං මේ අවස්ථා දෙකටම බුෆේ සම්ප්‍රදාය තියෙනවා.. ඒත් ගෙදර මේ වගේ දෙයක් තමුන් විසින්ම කරන්න හිතං ඉන්නවා නං මෙන්න මේ උපදෙස් ටිකත් ඔළුවට දාගන්න..  

  • උයන්න යොදාගන්න පුද්ගලයා හොද විස්වාසවන්ත/ පලපුරුදු කෙනෙක් වීම එයාගේ සහායට තමන්‍ට ගොඩාක් හිතවත් සහ සමිප කෙනෙක් යෙදවීම
  • කෝකියාට අවශ්‍ය සියළු කලමණා ඉවුම් පිහුම් පටන් ගන්න කලින් සැපයීම
  • ඉවුම් පිහුම් වෙනුවෙන් වෙනමම ස්ථානයක් (උත්සව භූමියෙන් එපිට- නොපෙනන දුරකින්) තෝරා ගැනීම
  • රාජකාරි ඉවර වෙනකං කෝකියා හෝ අත් උදව් කරුවන්ට බොන්න නොදීම..!!
  • උත්සවේ වෙනුවෙන් අපේක්‍ෂිත පිරිසට ව‍ඩා මඳක් වැඩි පිරිසකට ආහාර සැපයීමට සූදානම් වීම..

මං මුලින් කිව්ව වගේ මේ වෙද්දි ඕනිම දෙයක් කෑමෙන් බීමෙන් මනින්න මිනිස්සු පුරුදු වෙලා. ඒ හින්ද අපි දෙන දේ හරියට දෙන්න ඕනි.. කන්න බොන්න දීලත් කතන්දර අහගන්න ඕනි නෑනේ.. ඒ හින්දයි පළවෙනි කාරනාව කිව්වේ.. දෙවනි කාරනාව කිව්වෙත් අත්දැකීමක් හින්ද.. රස්තියාදුකාරයාගේ මිත්‍රයෙක්ගේ උත්සවයක් වෙලාවකදී දුන්නු ආහාර වලට යම් කිසි දෙයක් කලවං වෙලා කීප දෙනෙකුටම උත්සවේ අතරතුරම රෝහල්ගත වෙන්න උනා..පස්සේ හොයාගෙන යද්දි තමයි කාරනේ හොයාගෙන තියෙන්නේ.. ඒ පුද්ගලයාත් එක්ක අමනාප වෙච්චි කීප දෙනෙක් කෑම වලට මොනවද ජාතියක් එකතු කරල.. මෙතන පොඩ්ඩක් හිතන්න තියෙන දෙයෙක්.. අපි කාට හරි කෑමක් දෙනකොට ඒ දෙන කෑම හෝ බීම ජාතිය ගැන සම්පූර්ණ වගකීම තමුන්ට ගන්න වෙනවා.. ගම් ගොඩවල්වල රා මදින තැන් එහෙම තියෙනවනං, එහෙමත් නැත්තං ඒ වගේ තැන්වලට ගියපු උදවිය ඉන්නවානං දන්නවා ඇති ගහමුලදිම රා මදින පුද්ගලයා රා කට්ටක් බීල තමයි අනිත් අයට දෙන්නේ.. ඒක සාම්ප්‍රදායිකව පැවතගෙන එන චාරිත්‍රයක් වගේ එකක්. එතකදි කෙරෙන්නේ තමුන් විකුණන නැත්තං බෙදන දේ ගැන වගකීම් සහතිකයක් දීල තමයි දෙන්නේ.

තමුන්ගේ ගෙදරට ආපු කාට උනත් තේකක් දෙනවානං තමුන් බීල හිටියත් තමුන්ටත් තේකක් හදාගන ඒ බොන අයත් එක්කම බොන්න.. එතකොට ඒක එයාලටත් පහසුවක්.. අපි සමහර වෙලාවට තැනක‍ට ගිහාම කොච්චරවත් පෙරැත්ත කිරීම්වලට ලක් වෙනවද තේකක් බොන්න ගියාම නේද? අරහෙම උනාම ඔන්න ඔය කියන අපහසුතාවය මග හැරෙනවා.. 

තුන්වෙනි කාරනාව..
උත්සවයක් අස්සට හිටිගමන් දුං ගදගහන පුද්ගලයෙක් ඇවිත් සංවිධායක කෙනෙකුට මොනවාදෝ කියනව.. ඊට පස්සේ ඒ මනුස්සයා පස්ස කැඩිච්චි කඩියා වගේ එහේ මෙහේ දුවනව දකින්න ලැබිල ඇති. ගොඩාක් වෙලාවට කෝකිවරු තමුන්ට අවශ්‍ය කලමණා ඔක්කෝම තියෙනවාද කියල බලන්නේ උයන කොට.. ඉතිං මොනවා හරි නැත්තං හරි මදි උනොත් එයාම හරි ගෝලයෙක් හරි එවනවා සංවිධායක ගාවට.. එතනින් එහාට කියන්න ඕනි නෑනේ.. මම දෙවනියට කිව්ව කා‍රනේ වැදගත්‍ වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී.. එහෙම යොදවන පුද්ගලයෙකුට ක්‍ෂණිකව හිතල තීරණ ගන්න පුළුවං පුද්ගලයෙක් වීම අත්‍යාවශ්‍යයි.. මං මගේ මුල් ලිපියේ කිව්ව වගේ ඕනිම දෙයක් බැක් කරන්න පුළුවං කෙනෙක් වෙන්න ඕනි.. හදිස්සියේදීවත් උදව්වට ඉන්න ගෝලයාගේ අත කැපුනා.. අඩු තරමින් අර ඉන්න පුද්ගලයාට ක්‍ෂණිකව ඒ වෙනුවෙන් කෙනෙක් යොදවන්න එහෙමත් බැරි අවස්ථාවක් නං ටයි ‍කෝට් අමතක කරල එතන වැඩ ටික කරන්න පුළුවං නං ඒක උත්සවේ සංවිධායකට වගේම කෝකියාටත් ලොකු හයියක්.. මොකද ගොඩාක් වෙලාවට ඔහොම වැඩ කව්රුත් කරන්නේ නෑ.. ‍එහෙම කරා කියන්නේ ඒ කෝකිටයාටත් හැගීමක් එනවා යකෝ මූත් මෙහෙම සපෝට් එක දෙනවානං මං මගේ රාජකාරිය පුළුවං උපරිමෙන් කරන්න ඕනි කියල..  

ස්ථානය ගැන අමුතුවෙන් කියන්නේ නෑ.. මොකද උයන පිහින තැන් උත්සවේ පේන දුරින් තියෙනවා කියන්නේ දුං වගේම උයන කෑම වල සුවද වගේ දේවල් උත්සවේ තියෙන තැනට එන එක එච්චර සාර්ථක සංවිධානය කිරීමක් වෙන්නේ නෑ.. ඒ වගේ දේවල් පුදුම Surprise විදිහට කරන්න ඕනි ඒවා.. අනික ඔහොම පේන්න තියාගෙන උයද්දි එතනට සාමාන්‍යයෙන් කට්ටිය එකතු වෙනවා.. එතකොට එතන තියෙන රාජකාරි හරියට කර ගන්න අමාරුයි..

බොන්න දීම..
සාමාන්‍යයෙන් වෘත්තීය මට්ටමේ කෝකියෝ රාජකාරි වෙලාවේදී බොන්නේ නෑ.. කලාතුරකින් එහෙම කරන උදවිය ඉන්නවා.. ඒත් තමුන්ගේ උත්සවයක් වෙනුවෙන් උයන්න ගේන පුද්ගලයා බීල කෑම එක විකාරයක් කරොත් ඒක තමුන්ට ලොකු කළු පැල්ලමක් එකතු වෙන වැඩක්.. ගොඩක් අය කෑම උයන්න බාරදීල හරිද කියල විතරක් අහන්න ලෑස්ති‍ වෙනවා..ඒත් සාර්ථක සංවිධායක වරයෙක් එහෙම කරන්නේ නෑ.. හැම වෙලේම ඒ ‍ඒ දේවල් ගැන හොයල බලනවා.. එහෙම නැත්තං ඒ වෙනුවෙන් වෙන වෙනම පුද්ගලයො පත්කරනවා ඒ දේවල් හරියාකාරව සිද්ධ  වෙනවාද කියල හොයල බලන්න. තමුංගේ දෙයක් චාටර් ‍කරගන්න, කට්ටියක් ඉස්සරහ නෝන්ඩි වෙන්න කවුරුත් කැමති නෑනේ.. ඒ හින්ද බොන්න දෙද්දි වැඩේ ඉවර කරල දෙන්න.. ඉවර උනාට පස්සේ බීල මොන ඩෙගා නැටුවත් තමුන්ගේ වැඩේ සාර්ථකව ඉවර වෙලා ‍හින්ද ලොකු ගැටළුවක් උත්සවේට එන්නේ නෑ..

සහභාගී වෙන පිරිස..
හැම වෙලේම අපි අපේක්‍ෂාකරන පිරිස කීයද ඊට වඩා වැඩි ප්‍රමාණයකට සූදානම් වෙන්න.. මොකද එන කාවවත් බඩගින්නේ යවන එක හොද නෑ.. අනික කාන්ඩෙකට කෑම ලැබිල, තවත් කා‍ණ්ඩෙකට නොදී ඉන්න උනොත් ඒක කොහෙත්ම හොද දෙයක්, සාර්ථක සංවිධානයක් වෙන්නේ නෑ.. මේ කියන්නේ අත්දැකීම් වලින්. ඒ හින්ද සූදානම් වෙන්න 100 එන්න සැළසුම් කරා නං 125 කට වත් අඩුම තරමේ.. තමුන් හිතන්න.. එන උදවියට විතරක් සලකලා හරියන්නේ නෑ.. තමුන් එක්ක හිටි කා‍ණ්ඩේ ගොඩාක් වෙලාවට කෑම ගන්නේ උත්සවයක් සම්පූ‍ර්ණෙන්ම ඉවර උනාම.. එහෙම වෙද්දි එයාලට කෑම නැති උනොත් ඒක බොහෝම ඛේදනීය අවස්ථාවක්.. එයාල තමුන්ගෙන් කෑම බීම බලාපොරොත්තු නොවෙන්න පුළුවං.. ඒත් අපේ යුතුකමක් වෙනවා ඒ හැමෝම වෙනුවෙන් දෙයක් ලබාදීම.. තමුන් යට‍තේ සේවය කරන මෙහෙකරුවන්ට උනත් මේ වගේ අවස්ථාවලදි කෑම එකක් දුන්නයි කියල පාඩු වෙන්නේ නෑ.. ඒක පොඩි මානසික අල්ලසක් වෙනවා තමුන්ගේ වැඩේ හරියට කරගන්න.. 

අපේ රටේ සම්ප්‍රදායක් වේගන යන දෙයක් තමයි තමුන් මොකක් හරි සංවිධානය ‍කරල ඒකේ සංග්‍රහයක් පවත්වපු අවස්ථාවකදී වටේ පිටේ ඉන්න හැමෝටම ඒ විදිහටම සංග්‍රහ කරන්න.. මේක කොහෙත්ම අදකාලෙට ගැලපෙන තියරියක්‍ නෙවෙයි.. ඒ වෙලාවට අවස්ථානූකූලව ක්‍රියාත්මක වෙන්න සංවිධායක වරු කලින්ම සැලසුම් කරන්න ඕනි.. 

අපි සෑහෙන දෙනෙක් වෙනුවෙන් කලා උලෙලක් වගේ දෙයක් කරනවා කියල හිතන්න.. එතකොට එතනට කාණ්ඩ දෙකක් යටතේ කට්ටිය එනවා.. ඒ හැමෝටම එකවගේ සංග්‍රහ කිරීම එච්චර සාර්ථක නෑ.. මොකද ගොඩාක් වෙලාවට ඔය ඉස්සරහ පුටු වල වාඩි‍වෙන ආරාධිත පුද්ගලයෝ ඒවට කැමති නෑ.. දෙන්න තියෙන එකම ‍දේ වෙන්න පුළුවං.. ඒත් එයාලට වෙනම තැනක් ඒ වෙනුවෙන් සූදානම් කරන්න.. සහභාගී වෙන පුද්ගලයන්ට පේපර් ‍ප්ලේට් එකක දෙයක් සහ ප්ලාස්ටික කෝප්පෙක බීම එකක් දෙනවා නං අර ඉස්සරහ ඉන්න ‍උදවිය වෙනමම තැනකට අරන් ගිහින් ඒ දේවල්ම වෙනමම මේසෙක ලස්සනට අහුරලා වීදුරු කෝප්ප වල බොන්න දෙන දෙයක් තියෙනවා නං දෙන්න.. වැඩේ සිම්පල්..

අමුත්තන්ට මොනවද  දුන්නේ කියල අනිත් අයට දැනගන්න ඉඩ තියන්න එපා.. ඒකයි වෙනම තැනක් ඒ වෙනුවෙන් යොදා ගන්න කිව්වේ.. 

අනිත් කාරනේ සංග්‍රහය වෙනුවෙන් තමුන්ගේ න්‍යාය පත්‍රවල වෙනමම වෙලාවල් ‍යොදාගැනීම. ඒ ගැන අමුත්තන්ට ආරාධනා කරද්දි දෙන න්‍යයා පත්‍රයේ සදහන් උනේ නැති තරමට හොදයි. මොකද එහෙම නොවෙද්දි එයාල ‍මොකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ.. ඒත් අපි සංග්‍රහයක් දැම්මොත් එයාල ලොකු ලොකු දේවල් බලා පොරොත්තු වෙනවා.. ඒ හින්ද සංග්‍රහය තමුන්ගේ න්‍යය පත්‍රවලට විතරක් ඇතුල් කලොත් වැඩිය හොදයි..

අවසාන කාරනේ සියල්ල අවසානයේ පිරිසිදු කිරීම සහ අඩුපාඩු ‍සොයා බැලීම.. තමුන් යම්කිසි තැනක් උත්සවයක් වගේ දේකට යොදා ගත්තට පස්සේ ආපසු බාරදෙද්දි ඒ තැන ගත්තු විදිහටම බාර දෙන්න උපරිම උත්සාහ කරන්න.. තමුන්ට ලැබිච්චි සාලාව අතුගාලවත් නැති එකක් නං ඒක ‍ඒ විදිහටම තියල දෙන්න කියන ‍දේ නෙවෙයි කියන්නේ.. එතන පිරිසිදු කරල දෙන එක අපේ යුතුකමක් වෙනවා.. හොටල් වල වගේ තැන්වල නම් ඒ ආයතන ඒ වෙනුවෙනුත් අය කිරීම් කරන හින්ද ඒ ගැන වද වෙන්න දෙයක් නෑ.. දැං කාලේ ගොඩාක් උත්සව ‍ඒ වගේ පිට තැන් වල සංවිධානය වෙන්නේ මේ හින්ද.. ඒත් හැමෝටම ඒ දේවල් කරන්න අමාරු හින්දයි මේ ලිපි ටික ලියන්න හිතුවේ..

මට අතපසු වෙච්චි දේවල් තියෙනව නං දන්වන්න.. 

ඔබ විසින් සංවිධානය කෙරෙන අවස්ථා සාර්ථක වේවා...!!

සංවිධානයකදී අත්‍යාවශ්‍ය තවත් දේවල්


-රස්තියාදුකාරයා-

(පෝස්ටු දිග වැඩි වීම ගැන කණගාටුව .. ඒත් මේකෙ කොයික අයින් කරන්නද කියල හිතාගන්න බැරි හින්ද සම්පූර්ණ පෝස්ටුවම දැමීමට ‍තීරණය කල බව කණගාටුවෙන් දන්වා සිටිමි. ස්තූතියි!)