අතහිත

Saturday, January 18, 2014

නික්ම යන්නට අවසරයි!!



හැගුම් මල් පොකුරු ගෙන‍
අමුණලා මල් දමක
පළඳන්න ඔබෙ ගෙලේ
ලතැවුනා මං බෝම‍

ඒ මලේ පෙති රැගෙන‍
මල් යහන සරසන්න
ඔබ හොවා එහි කොනක
ඔබේ හිස සිපගන්න‍

මහමෙරක් සිතුවිලිද
ගව් ගනන් සිහින වැල්
ගොතා ගත්තා මමත්
ඔබත් සමගින් ගෙවෙන‍

අපි අපිට හිමි නොවෙන‍
අන්සතුවු විජිතයක
මගෙම උන බිම් අගල්
මං කොහොම සපයම්ද‍

ගෙවුනු සුන්දර මතක
මං හෙළුව දුක් කඳුලු
හැම දේම පොදි බැදන්
මට යන්න කල් පැමිණ

කාලයත් ඉගිලිලා අපි අපේ නොවෙන ලෙස 
මට යන්න කල් ඇවිත් ඔබේ මුලු ලෝකෙන්ම
මතකයන් මට දෙන්න ඔබේ බර අඩුවෙන්න
පතන්නෙමි ඔබට ජයෙන් ජය වෙන්න....



Tuesday, May 21, 2013

සමුගනිමි



ෂික් අප්පා.. අපි පාරට බැස්සාම තමයි මේ උලව් බස් එකක් වත් එන්නේ නැත්තේ.. 

උදේ පාන්දරම යාළුවෙක්ගේ වැඩක් හින්ද නුවර යන්න ඕනි වෙච්චි නිසා පාරට ආවත් යන්න බස් එකක් ආවෙ නැති හින්දා හිතෙන් සාප කර කර බාදා උනත් කමක් නෑ කියලා ආයෙමත් ගෙදර ගිහින් බයිසිකලේ අරන් ආවේ මේ ගමන යන්නම ඕනි හින්දා...

බයික් ගමනේ මුල් හරිය නං පට්ටම අමාරුවෙන් හීතල මැකෙන්නත් එක්ක ගෝල්‍ඩ් ලීෆ් දෙකතුනකුත් පත්තු කරං ආ‍වත් ටිකක් වෙලා යද්දි හීතලට ඇග පදං උනා වගේ උන හින්ද සිගරට් බොන එකත් නවත්තලා ආයෙම පාර බලාගෙන එලවන්න පටන් ගත්තේ තාම ගමනෙන් බාගයක් වත් ඇවිත් නැති හින්දා වේගේ පොඩ්ඩක් වැඩිකරන ගමන්මයි..

*****

අඩෝ.. පොඩ්ඩක් හෙමින් යන් බන්.. පොලිසියෙන් වත් හිටියොත් බඩු බනිස් වෙනවා..

හෙමින් තමයි බන් යන්නේ.. හැට කියන්නේ වේගයක් නෙමේනෙ..

උඹ පාගද්දි අරුන්ටිකත් පාගනවා බන්.. කෙලඋනොත් සෙට්එකටම එක පාර ටොපියක් සෙට් වෙන්නේ.. ඒ නිසා හෙමින් යන්..

අපෝ උඹ නං.. හරි හරි.. බලා ගනින්.. ඕන් අඩුකරා... සනීපයි නේ උඹට.. නුවර ගියාට පස්සේ කංකෙදිරිගන්න එහෙම ලෑස්තිවෙනවා නෙවෙයි වේලස්සන යන්න ඕනි.. අරකද මේකද කියලා.. හරිය.. මං කලින්ම කිව්වා ඔන්න..

හරිය නෙවෙයි වැරදිය .. ඒව මං බලා ගන්නං.. උඹ දැං හෙමින් යමන්කෝ..

උදියා මගේ බයික් එකේ පිටිපස්සේ ඉදං කෑගැහැව්වේ මං හැට පන්නලා පොඩ්ඩක් දුර යද්දි.. උගේ කථාවෙත් ඇත්තක් නැතුව නෙවෙයි.. නුවර පාර කියන්නේ ඇක්සිඩන්ට් විමානේ.. වංගුවක් වංගුවක් ගානේ පොලිස්සියෙන්.. ඉල්ලං ටිංකිරි ගාගන්න ඕනිනැති නිසයි මුගේ වදේ ඉවසගන්න බැරුව වේගෙත් අඩු කරල අනිත් බයික් දෙකට ඉස්සර වෙන්න දුන්නේ උතුවංකන්ද කිට්ටු වෙද්දි..

මේ වෙද්දි අපි පැය දෙකහමාරක් විතර බයික් එකේ එක දිගට යනවා.. උදියයි, නිලායි මායි දිසාකාරයයි ප්‍රනියයි තමයි  ගමනට සෙට් උනේ.. බයික් තුනයි.. නඩේ පස් දෙනයි.. නුවර මාලිගාව වැදලා ඒ පැත්තෙ පොඩි රවුමක් ගහලා මාතලේ පැත්තට ඇදෙන්න තමයි කස්ටිය ප්ලෑන් කරල තිබ්බේ..

ඒ බන් උඹේ පරණ කෑල්ල දැං මොකද කරන්නේ..? හෙල්මට් එකේ වයිසරේ උස්සන ගමන් උදියා ඇහුවා..

එකපාරට ආපු උදියාගේ ප්‍රශ්ණනන් ඉස්සරහට ආපු කාර් එකකට වද්දන්නෙ නැතුව බේරගත්තෙ හරිම අමාරුවෙන්.. 

මොකද මූසලයෝ එකපාරට උනේ..? ආයෙමත් උදියා කටකියවන්න පටන් ගත්තා.. 

දැං මේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්තං මට හොද කුණුහරුප දෙකතුනක් අහගන්න වෙන හින්දම උත්තරයක් හදාගන්න ගමන්ම ෆුල් ෆේස් හෙල්මට් එකේ වයිසරේ ඉස්සුවේ..

උදියෝ.. උඹේ සීන් එකට මොකද උනේ..?

දැං මමනේ බන් ප්‍රශ්නේ ඇහුවේ..

හරි හරි බන්.. කියපන්කෝ..

මගේ ඒව ගැන මෙහෙම අමුවෙන් කථා කරන්න බෑ බන්.. හැන්දෑවට පොඩි ඩ්‍රින්ක් එකක් දාගෙන මං සම්පූර්ණ විස්තරේ කියන්නං..

ඒ බන් උඹ ‍හොටෙල්සුත් බුක් කරානේ?

කාඩ්ස්සුත් ගැහුවා බන්.. හා හා.. ඒවා හවසට.. උඹට මොකෝ උනේ...?

හම්.. උඹට ඕක දැම්මම ඕනිද? මටත් බැරිද හැන්දෑවෙ දෙකක් දාගෙනම විස්තරේ කියන්න..

ඒ හුකාරිස් හරියන්නෑ.. කියපංකො බලන්න.. උඹට මට තරං කෙල උනේ නෑනේ..

කෙල උනේ නෑ.. එහෙනං ඒ සීන් එක මතක් කරපු ගමන් පෙනි පෙනි අනින්න ගියේ ඇයි කියලා ඔය ගොබ්බ මොලේට තේරෙන්නේ නැද්ද හරකෝ.. අනේ අපිත් උඹලත් එක්කනේ ඉන්නේ...

මං හිතුවේ නෑ බන් උඹ ඔහොම මූඩ් ගහාවි කියලා.. ඒකයි ඇහුවේ.. අවුලක් නැත්තං විතරක් කියපං එහෙනං..

පිස්සුද උදියෝ.. උඹ දන්‍නවානේ මං ගැන.. මං උඹලට නොකියන දෙයක් නෑනේ බන්.. එයා ගියා බන්.. දැං ඔය අපි යන පාරේ ඇති..

යන පාරේ කිව්වේ ...??

පේරා බන් ඉන්නේ.. දොස්තර නෝනා කෙනෙක්..

අප්පට සිරි.. ඇඩෙනවා තනි ඇහැට.. මචෝ අපි හුගාක් පහු වෙලා.. පොඩ්ඩක් ඇදල යං.. අරුං දෙන්න පේන හරියක නෑ..

ඇති යාංතං උඹට පොඩ්ඩක් වේගෙන් යන්න හිතුනා..

ඉතිං ඉතිං.. ළගකදි මීට් උනේ එහෙම නැද්ද??

කව්ද බන්...? කාවද?

උඹේ දොස්තර නෝනා ව මිස වෙන කව්ද?

නෑ බන්.. අවුරුදු හතරකින් විතර දැක්කේ නෑ බන්..

එස්එම්එස් මිස් කෝල් වත්?

ම්හුම්.. නෑ බන්.. මොකුත් නෑ..

ඇයි බන්.. උඹ ඔච්චර ඒකි ගැන හිතන එකේ පොඩ්ඩක් හරි කන්ටැක්ස් තියාගන්න එපැයි..

ඒක ඇත්ත බන්.. ඒත් බන් එයා කැමති උනේ නෑ මං එයත් එක්ක කන්ටැක්ට්ස් තියාගන්නවට.. ඇරත් එයා වෙන කෙනෙක්ගේ බව දැන දැනත් මට බෑ බන් එයාගේ සතුට නැති කරන්න..

හම් එකත් එහෙමද.. එහෙනං අනිවා බොන්න ඕනි සීන් එකක්..

හම්ම්ම්ම්.. බිව්වා බන්.. වැටෙන්නම බිව්වා.. උඹට අමුතුවෙන් කියන්න ඕනි නෑනේ ඒ බීපු බීම ගැන.. එයාම නතරකරපු බීම එයා හින්දම ආයෙමත් ඇති උනා.. ඒත් බීලා වැටුනයි කියල එයා ආපහු එන්නේ නෑ නේ බන්..

හම්.. එහෙමෙයි කියලා තෝ අද නොබී ඉන්නද හදන්නේ.. ගල්මූසලය තෝ අද බිව්වේ නැත්තං හලනවා බලා ගනිං බෝතලේ ඔළුවේ... ආං නිලා ඉන්නවා.. ‍පොඩ්ඩක් අල්ලපං උගේ ගාවට...

අඩෝ නිලා.. මේ මූ අද රෑ බොන්නේ නෑළු..

මොකක්?? උඹට මං කිව්වයි කියලා හිතා ගනින්...

මුගේ කෑල්ලගේ කේස් එකක් හින්ද මූ බොන්නේ නෑළු...

උඹේ ආච්චිට හාල් ගරන්න මගෙන් කුනුහරුප අහගන්නේ නැතුව හිටපං හරිය... මුගේ කෑල්ල දාලා ගිය කාලේ මූ‍ට වැටෙන්න ගහන්න හොදයි... කාලෙකට පස්සේ... හරියටම අවුරුද්දකට පස්සේ අපි සෙට් එක සෙට් උනේ.. එදත් උඹට පොඩි රීලෝඩ් එකක් දාගන්න බැරිනං ආපහු හරවං පල.. නාවට කමක් නෑ..

***
උතුවං කන්න හරිය පහුකරද්දිම මට මේ සිද්ධිය එකපාරටම ඔළුවට ආවේ එදා හැප්පෙන්න ගිය වංගුව පහුවෙද්දිමයි.. අපි සෙට් එක මාතලේ ටුවර් එක ගිහින් මේ වෙද්දි අවුරුදු අටකට කිට්ටු වෙලා.. නිලා දැං දෙදරු පියෙක්.. එදා ලයිෆ් එක අනාගත්තු උදියා දරුවො එකහමාරක තාත්ත කෙනෙක්.. ප්‍රනියා දැං පිටරට.. පොරටත් හොද කාලයක් ලබල කියල අන්තිමේ කථා කරද්දි කිව්වේ.. දිසා මහත්තයත් දැං දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකු පුටුවකට වෙලා ලස්සනට පවුල් කන පුද්ගලයෙක් වෙලා.. 

ඒත් ඒකාලේ හැමෝවම හිනස්සලා, හැමෝගෙම දුක බෙදා ගත්තු මම ..... තාමත් තනිකඩ වෙලා... ඒක තේ‍රිලා මන්ද හීන් හිනාවක් ම‍ගේ මූණට වැ‍ටුනේ.. 

මගේ හිටි ගජයෝ සෙට් එකම ම‍ගේ හිත හදන්න මේ අවුරුදු අට නවේ ඇතුලත නොකරපු දෙයක් නැති තරං.. උංගේ පවුල් ජීවිත කැඩෙන්න යද්දිත් මං වෙනුවෙන් උං හිටියා.. මං බොන්න කථා කරපු වෙලාවල උකුලේ බාගෙට නිදියං ඉන්න පොඩි එකා එහෙම්මම ඇදේ තියලා ආපු උන් හිටියා.. මං කථා කරද්දි ළමයට කවන එක පැත්තක තියලා මගේ දුක අහපු උන් හිටියා.. එක පාරටම මේ ඔක්කොම මගේ ඔළුවට එන්න ගන්නේ ඇයිද මන්දා...

මට මහ පුදුමාකාර අමුත්තක් දැනෙන්න ගත්තා... ළග අහලක පහලක කව්රුවත් ඇත්තෙත් නෑ.. ප්ලේන්ටියක් බොන්න වත් කඩයක් ඇරලා නෑ.. කොයි හැටි වෙතත් මෙහෙම යන එක හරි නෑ කියල තේරිලා හෙමින් සැරේ අයිනක් අල්ලලා නවත්තලා ගෝල් ලීෆ් සිගරට් එකක් පත්තු කරගන්න ගමන් හෙඩ් ෆෝන් සෙට් එක කනේ ගහගෙන සින්දුවක් දාගත්තා..

"ඔබ මා හමුවුන මේ ඉරහද යට...."

එකපාරමට ඒ සින්දුව ඇහෙන්න ගත්තාම ම‍ට මොකක්දෝ උනා වගේ දැනෙන්න ගත්තා.. මේ සින්දුම මට ඉස් ‍ඉස්සෙල්ලාම අහන්න දුන්නේ ඔයා.. හම්.. ඒ මතක කොහොම අමතක කරන්නද..

මට පිස්සු.. 

මං මටම කියාගත්තේ මගේ ඔළුව යාංතං වත් හදාගෙන ගමන යන්න බයිසිකලේ පාරට දාන ගමන්..

එක පාරටම මූණට වැටිච්ච එළියෙන් මගේ ඇස් නිලංකාර වෙලා යනව දැණුනා.. මගේ වටේ හැම දෙයක්ම නිලංකාර වෙනවා දැනුනේ මොකක් හරි ලොකු දේක ඔළුව වදිනවත් එක්කමයි... වටේටම තිබ්බ මීදුමත් එක්ක ම‍ට පේන දේවල් පොඩ්ඩ පොඩ්ඩ බොද වෙනවත් එක්කම පේන්න තිබ්බ අන්තිම එලිය බිංදුවත් එකපාරටම නොපෙනී ගියා....

***

කෝ.. අයින් වෙන්න.. අයින් වෙන්න.. හදිස්සි ලෙඩෙක් ...

වේගෙන් එක පේලියට පහුවෙන සුදු පාට තීරු ගොඩාක් එකපාරට පෙනි නොපෙනී යන්න පටන් අරන්...

මං‍ කොහෙද? මොනාද වෙන්නේ....

මට ඒ ප්‍රශ්නේ අහන්න ඕනි උනාට සද්දේ පිට වෙන්නේ නෑ කියල මට තේරෙන්න ගත්තා.. ඒත් එක්කම මං මේ කොහෙද ඉන්නේ කියල කල්පනා කරන්න පටන් ගත්තා... මගේ වටේ මාත් එක්ක දුවන මිනිස්සු ගොඩාක්.. මං පැතලි මතුපිටක් තියෙන මොකක හරි තියලා වගේ දැනෙන්න  ගත්තා.. ඒත් එක්කම ඔළුවෙ පිටිපස්සෙන් දරුණු වේදනාවක් දැනෙන්න ගත්තා...

මට මොකද උනේ...??

මිනිස්සු උනාම කල්පනාවෙන් පාරෙ යන්න ඕනි.. අසිහියෙන් පාරෙ ගියාම තමුන් විතරක් නෙවෙයි ‍අපිත් අමාරුවෙ..

හුරු පුරුදු කටහඩක් ... !

ඒ හඩේ තිබ්බේ නියෝගයකට වඩා වේදනාකාරි හඩක්.. ජීවිත ගමනෙන් හෙම්බත්උන, දිනන්න බැරි රේස් එකක් දුවන බිදිච්ච හඩක්.. හඩ ආපු පැත්තට ඔළුව හරවන්න හදනවාත් එක්කම ඔළුවේ පිටිපස්ස පැත්තෙන් දරුණු වේදනාවක් ආයෙමත් දැනෙන්න ගන්නවත් එක්කම ඇගේ තිබ්බ අන්තිම පණ කෙන්ද යොදල ඇස් ඇරියේ ඒ කටහඩේ තිබ්බ හුරු පුරුදු ලෙංගතු කමක් දැනිච්ච නිසා...

බො‍ද වෙච්චි ඇස් කෙවෙනි වලට මුලින්ම අහුඋනේ ලොකු සේලයින් බෝතලයක්.. වෙද නලාවක් කරේ දාගත්තු සුදු වෙද කබායක් ඇදපු ලක්සන ලේඩ් ඩොක්ටර් කෙනෙක්... රූපේ හරියට පේන්නේ නැති උනත් ඒ කඩහඩේ තිබ්බේ ගොඩාක් හුරු පුරුදු ගතියක්...

ඩොක්ටර් ඉෂානි.. තියටර් වන් රෙඩි.. පේශන්ව ගන්න.. බේසික් චෙකප් ටිකට රෙඩි කරල තියෙන්නේ.. පේන හැටිය‍ට නං බ්රේන් එකට සීරියස් ඩැමේජ් එකක් තියෙනවා වගේ.. පේෂන් අන්කොන්ෂස් නේද තවම..

ඉන් බිට්වීන්.. තැන්ක්ස් ‍ඩොක්ටර්.. ලෙට්ස් සී වට් වී කැන් ඩූ ටු සේව් දිස් පූවර් තින්.. බට් අම් නොට් ෂුවර්..  ගොඩ්ස් බී විත් හිම්..

ගුඩ් ලක් ඉෂානි..
යාංතං කළුවර වේගන යන ඇස් වල ඇදුන ඒ රූ‍පේ දිහා මට අයෙමත් බැළුනා.. මේ ජීවිතේ අන්තිම වෙලාව නිසා මගේ ඔළුව විකාර රූප මවනනවද කියලත් නොහිතුනා නෙවෙයි. ඒත් ඒත්.. 

මේ ඇත්තටම ඔයාද?

මං මගේ ජීවිතේ හුස්ම වැටෙන තුරාවට ආදරේ කරපු.. මට ආදරේ උගන්නපු.. ජීවිතේ ගැන කියල දුන්නු.. මගෙත් එක්ක මගේ ළගින්ම ඉදපු.. මට කවුරුවත් නොදුන්නු ආදරයක් දුන්නු. අන්තිමේ මගේ මුළු ලෝකෙම උන ඔයාමද මේ...

හිතේ ඇදිල තිබ්බ ඒ රූපේ මගේ බොද වෙච්චි ඇස් මට හරියට නොපෙන්නුවේ මුළු ජීවිතේම මට සරදම් කරපු විදිහටමයි.. ඒත් මේ වෙලාවේ ඔයාව දකින්න හම්බුණ එක කොච්චර දෙයක්ද.. මගේ ඇගේ තිබ්බ හැම වේදනාවක්ම මොහොතකට ක්‍ෂය වෙලා ගියා ව‍ගේ..

අවුරුදු ගානක් දකින්න පෙරුම් පුරපු ඔයා මගේ ඇගිලිතුඩු අග.. යාංතං වගේ ඔයාගේ අත මගේ ඇගිලි වල ගෑවෙනවා වගේ දැනුනා..

ජීවිතේ පුරාවට මේ ඇගිලිතුඩු අතරේ ගෙවන්න මං කොච්චර හීන මැව්වද.. අපි කොච්චර ආස කලාද.. ඒත් කාලය අපි දෙන්න දෙපැත්කට කරේ ඒ හැම දේම මගෙන් වෙන් කරන ගමන්මයි.. ඔයා අද ඔයාගේ ජීවිතේ තිබ්බ එකම ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට කරගෙන.. ඒ ඇති මට මගේ ජීවිතේ තියෙන තුරාවට සැනසෙන්න...

මගේ ඇස්වලින් හීන් කදුලු පේලියක් ගලාගෙන ගියේ දුකට වත් වේදනාවට වත් නෙවෙයි.. ඔය‍ වෙනුවෙන් එදා වගේම අදත් මගේ තියෙන ආදරේ හින්දා වගේම ඔයා ගැන ඇත්තටම ඇතිවෙච්ච සන්තෝසෙට..

ඉෂානි.. ඩොක්ටර්.. මං ගැන තවත් මහන්සි වෙන්න එපා.. හැමදාම මං ඔයාට දුකක් දුන්න විතරයි.. අදත් මට ඒකම කරන්න වෙයි..ඒ හින්ද දැන්මම මගෙන් ඈත්‍ වෙන්න... මට බෑ ආයෙමත් ඔයා අඩනවා බලන්න...

ඔයා මේ කරන දේ ඇති මගේ ආත්මෙට.. යන්න කරුණාකරලා.. මාව දාල යන්න.. මාත් යනවා දැං...

කියාගන්න ඕනකම තිබ්බත් යාංතං කට ඇරගන්නවත් ඇගට පුළුවං කමක් නෑ කියල තේරුනේ මාව තවත් අසරණ කරගෙන..

බයික් එක හැප්පෙන්න කලින් අහපු ඔයා අහන්න දුන්නු සිංදුව ආයෙම මතක් උනා.. ඔයා කිව්වා වගේ ඒ පොරොන්දුවත් අද ඉෂ්ඨ කලා එහෙනම්.. ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න පොරොන්දු උන මං අද ඔයාගෙන් වගේම මේ ලෝකෙනුත් සමුගන්නවා.. ආයෙමත් වතාවක් අපි මේ ලොකෙදිම ඉපදුනොත් ඔයාට ළං නො‍වී ඈත ඉදං විතරක්ම ඔයා දිහා බලන්නම්..

ඔයා ප‍රිස්සමෙන් ඉන්න.. මං යන...........................වා...

අනංමනං.‍කොම්

Friday, April 26, 2013

අවුරුද්ද සහ 350


"ඉරිදා.. අදවත් ගෙදර ගිහිල්ලා එන්න ඇත්නං..."

ඇදෙන්න බහින්නත් කලින්ම හිතුනේ එහෙම.. අවුරුද්දටත් ගෙදර හිටියේ දවස් දෙකයි නේද කියල මතක් වෙද්දි හිතට පුංචි දුකකුත් නොදැනුනා නං නෙවෙයි.. ඒත් අවුරුද්දට ගෙදර ගියෙත් දාහක් වැඩ රාජකාරි එහෙන් මෙහෙන් ඉවර කරලා.. ඒ අතරෙ රාජකාරි හිතමිත්තරයන් හතර දෙනෙක්ගේ අවමගුල් උත්සව හතරකට එක දිගට යන්න උන නිසා ඇගට තිබු‍නේ පුදුම තෙහෙට්ටුවක්.. කිව්වට කව්රුවත් විස්වාස නොකෙරුවත් මහනුවර, කොළඹ අන්තිමට අනුරාධපුරෙත් ගිහින් තමයි ගමන් කිරිල්ල නවතින්න උනේ.. අවුරුද්ද හින්ද කන්තෝරුවෙන් දොලොස්වෙනිදා නිවාඩු දුන්නා.. ඒත් අනුරාධපුරේ ගිහින් එන්න උනේ එකොළොස්වෙනිදා දවල් දොලහට.. කාමරේට එද්දි කාමර පේලියේ හැමෝම කලින්ම ගෙවල්වල ගිහින්.. වරුවක් වැඩ කරන්න තිබුනත් ඇගට තිබුන මහන්සිය තෙහෙට්ටුව හින්දා කන්තෝරුවට ගිහින් බො‍රුවැඩ කරනවට හොදයි ගෙදර යන එක කියලා හිතලා ගෙදර ගියේ.. ඒත් දොලොස්වෙනිදා දවල් වෙනකල් නිදා ගත්තු එක තමයි කරේ.. 

දවල් වෙලා ගේ වටේ පොඩ්ඩක් ඇවිදලා බැළුවට මුළු වත්තම මගේ දිහා බැළුවේ මං හරියට අවුරුද්දට ගෙදර‍ට ආපු අමුත්තෙක් දිහා බලන විදිහට.. අඩුතරමේ ගෙදර ඉන්න බලු පැටියා පවා මගේ දිහා බැලුවේ අමුතු විදිහට.. ඇත්ත.. මාසේ දවස් තිහෙන් විසිඅට හමාරක් විතර කන්තෝරුවේ ඉදල බෝඩිං කාරයෙක් වගේ ගෙදර ඇවිත් ගියාම ඔය වගේ දැනෙන්න ඕනි තමයි.. ගිය මාසෙටම ගෙදර හිටියේ දවස් දෙකයි.. ඒකත් රෑට නිදාගන්න වෙලාවට විතරක් ද කොහෙද.. වෙලාවකට මේ රස්සාවල් ඔක්කෝම දමල ගහල ගෙදර ඉන්නත් හිතෙනවා.. ඒත් ගෙදර නතර උනා කියන එකෙන් පාඩු‍වක් වෙන්නේ මටමමයි නේද කියලා හිතෙන හින්දයි අම්මටයි තාත්තටයි කරදරයක් වෙන්න හිත දෙන්නේ නැති හින්දම රාජකාරිය වෙනුවෙන් මේ විදිහට මහන්සි වෙන්නේ.. 

අවුරුද්දට වේලස්සනම මාසෙ පඩියයි ලබන මාසේ පඩියයි දෙකම හම්බුන හින්දා පොඩ්ඩක් විතර ඔළුව කෙලින් කරන් ඉන්න පුළුවං තත්වෙක හිටියා.. ඒ ගැන පොඩි සතුටක් හිතේ තිබුන හින්දා අම්මගේ අතට සල්ලි ටිකක් දු‍න්නේ කැමති දෙයක් කරන්න කියලා.. දවල් වෙද්දි ගෙදරට අඩුපාඩු වෙලා තිබුණ බඩු කලමනා එක්කම අවුරුද්දට ඕනි කරන දේවල් ටිකත් අරන් ඇවිත් ගේ පොඩ්ඩක් අස් පස්කරලා දැම්මේ අම්මට හැමදාම මේ වදේ දෙන්න බැරි හින්දා.. මෙදා පාර මහලොකු අවුරුද්දක් ගන්න ඒ හැටි කැමැත්තක් කාටත් තිබුනේ නෑ.. ලොකුතාත්තා ගිය අවුරුද්දේ අපෙන් සමුගත්තා.. ඒ මතකයත් එක්ක වෙනදා තරම් වත් අවුරුද්දක් ගන්න හිත දුන්නේ නෑ.. ඒ හින්දම පරණ අවුරුද්ද දවසේ ලොකු අම්මා බලන්න ගියේ නමට මේසෙට තියන්න කැවැලි ‍ජාති දෙකතුනකුත් අරන්.. ගියපුගමන් ලොකු අම්මා මාව බදාගත්තු වෙලේ ඒ ඇස් වලින් ගලාගෙන ගියේ පපුවේ අගිස්සේ තිබ්බ උණු කදුලු බිංදු මට කිව්වේ ඒ තනිකමේ වේදනාව.. අත්තම්මවත් පොඩ්ඩක් හම්බුවෙලා දන්න කියන යාළුවෝ දෙන්නෙක්ගෙත් ගෙවල් වලට ගොඩ වෙලා ආපසු ගෙදරට එද්දි පරණ අවුරුද්ද ඉවර වෙන්නත් ළං වෙලා.. අවුරුද්ද දවසේ චාරිත්තර ටික කරල සමන් දේවාලේ වැදගන්නත් ආසාවක් ආව හින්දා තාත්තවත් ඇදගෙන රත්නපුරේ ගිහින් එන අතරමගදි තවත් නෑදෑකෙනෙකුගේ ගෙදරට ගොඩඋනා.. අපි ආපු එක ඒ මිනිස්සුන්ට කොච්චර ලොකු සතුටක් ගෙනාවද කියල ඒ හැම දෙනාගෙම මූණු වල තිබුණ හිනාවෙන්ම තේරුණා.. දවාලට එහෙන්ම කෑම අරන් හැන්දෑවේ ගෙදරට ආව.. සඳුදා දවසේ තමයි පවුලේ එකමුතුව.. පවුලේ හැමෝම මහගෙදර ආවේ අත්තම්මා බලනවට වඩා ලොකු අම්මා බලන්න.. ලොකු තාත්ත නැති අඩුව හැමෝටම තදින්ම දැනුනත් කව්රුත් ඒ ගැන කථා ක‍ලේ නැත්තේ ඒ හැම දේකින්ම ලොකුඅම්මගේ හිත තවත් බිදෙන හින්දා..

හම්.. අගරුවාදා ඉදං ආයෙම යුද්දේ පටන් ගන්න ඕනි හින්දා සදුදා රෑම දුකෙන් උනත් පිටත් වෙන්න උනා.. එදා ඉදං හිතේ දැගළුවේ ආයෙම ගෙදර යන්නෙ කවදද කියලා.. ඒත් ‍ඒ සති අන්තේ තවත් වැදගත් දවසක් කියන දේ මතක් උනේ පස්සෙයි..

හිතට එකගව ඉරිදා එන්න නම් එන්න මගේ තුන් හිතකවත් අදහසක් තිබුනේ නෑ.. ඇත්තටම ආවේ ඇයිද කියන කාරනේ ගැන මම තාමත් හිතනවා.. හුගාක් අය කථා කරල එන්න කිව්වට මගේ හිත කිව්වෙම යන්න එපා කියලා.. ඇත්ත. යන්න තරම් හයියක් මටත් තිබුනේ නෑ..

හේතුවක් නොදන්න හිතට ආපු ක්‍ෂණික අයිඩියා එකක් හින්දා උදේ නවේට දහයක් විතර තියෙද්දි බයික් එක හරෝගත්තේ කොළඹ එන්න.. ඔව්.. කොළඹ එනකම්ම කල්පනා කර කර ආවේ ඇයි මම මේ ගමන යන්නේ කියලා.. 

අනිවාර්යෙන්ම මං දන්නවා මං කොළඹට කිට්ටු වෙද්දි පෙරහැරේ බාගයක් විතර ගිහින් ඉවරයි කියලා.. බස් එකට නැග්ගනං පෙරහැරේ කොනක්වත් දකින්න වෙන්නේ නැති හින්දමයි කොච්චරක් දුර උනත් බයිසිකලේටම නැග්ගේ.. මයිලෝ පැකට් එකක් බොන්න විතරක් නවත්තලා පැය තුනෙන් මහරගම.... 

පාරේ කොනක බයිසිකලේ නවත්තලා ජැකට් එක පිටින්ම ඇතුලට ආවේ කකුල් වෙව්ලද්දි.. හිත ගැහුනා මහ හුගාක්.. කකුල් ඉස්සරහට යනවට වඩා පස්සට ගියා කිව්වොත් හරි.. හෙමින් සැරේ අඩියෙන් අඩිය තියලා ඇතුල් වෙද්දි බස් එකේ සෙට් ‍එක ඈතට ඇහෙන්න ගත්තා.. හම්.. දැං ඉතිං මොන ආපසු හැරිල්ලක්ද..

පඩිපෙල බහින්නේ නැතුව පොඩ්ඩක් වෙලා ඇස් දෙක කරකවලා බැළුවේ කව්රු කව්රුද ඇවිත් ඉන‍්නේ කියලා.. ගොඩාාාාක් ඇවිත්. අනේ මෙන්න ආපු ගමන්ම කට්ටිය පොටෝ ගහනවා.. ජැකට් එක පිටින්ම‍ පෝලිමක අයිනට ආවේ ස්කූබියගේ පිටට තට්ටුවක් දාන ගමන් මයි..

මේන් එන්නේ නෑ කිව්ව එකා ඇවිත්.. ස්කූබිය කියද්දි මං ආ‍පු එක ඇත්තටම වැරදියි කියලා නොහිතුනාම නෙවෙයි.. කොහේද ඉදං ආපු සෑමාත් ඇවිත් කතා කලේ රෙජිස්ටර් වෙයන් නැත්තං කන්නත් නැතිවෙයි කියලා.. ශෂියයි දුලානයයිත් ළගටම ඇවිත් කථා කරා.. ඒත් එක්කම දොස්තර මහත්තයා, රාජ් ලොක්කා, මදාරා, ශම්මි, නාඩියා එහෙමත් කථා කරා..  සමරු කලාපේ ගන්න ගිහින් දාං ආපු සන්ගලාස් කුට්ටමත් නැති කොරගෙන ටික වෙලාවක් යද්දි මට තේරෙන්න ගත්තා හිටියා ඇති වගේ කියලා.. කාටත් හරිහපං විදිහට කථා කරන්න බැරි උනාට සොරි වෙයල්ලා.. තව අටම් අයියත් ඔය අස්සක ඉදං කථා කරා නේ.. කිය කියා ඉන්න ගියොත් යන්න වෙන්නේ නැති නිසා හෙමින් සීරුවේ ආයෙමත් එන්න පටන් ගත්තා.. රෙජිස්ට්‍රේෂන් එකේ හිටි මලයයි, රාජ් ලොක්කයි, දොස්තර මහත්තයටයි ගේට්ටුව ගාවදි ආයෙමත් කථා කරලා ආපහු ගමන පටන් ගත්තේ මගේ ඇස් දෙක විතරක් පාරට හරෝලා මුළු ඔළුවම වෙන දිහවක ගෙනහිල්ලා.. 

නාරාහෙන්පිටට ගිහින්, කොටුවට ආවේ කොහොම කියලා හරි මතකයක් තාමත් නෑ.. ඒ එද්දි දන්න කියන තවත් මළගෙයක්.. එකක් නෙවෙයි එකම පවුලේ තුන් දෙනෙක්.. ගෙදරට ගොඩවෙන්න වෙලාවක් නැති හින්ද යාළුවෙක් අතේ එහෙට පණිවිඩේ යවලා ආයෙම රෝද දෙක හරෝ ගත්තේ හතර හමාරට විතර.. පරණ පාරෙ කොට කොටා, දූවිලි කකා ආවේ මහරගම පැත්තෙන් ගියොත් හිතට තවත් බරක් එකතු වෙයි කියලා.. 

වතුර උගුරක් බොන්නවත්, සීට් එකට තද වෙලා ඇදුං කන පශ්චාද් ප්‍රදේශයට නිවනක් දෙන්නවත් නතර කරන්නේ නැතුව එක හුස්මට ආපහු එන ගමන් ෆුඩ් සිටියකට ගොඩ උනේ පොඩි බෙලෙක්කයක් ගන්න.. ඒකත් බෑග් එකට දාගෙන කාමරේ පේන කිට්ටුවකට ඇවිත් උගුරට දෙකට ඒක හලාගන මැරෙනවං මැරෙද්දෙන් කියලා පට්ට හීතලේම නාගෙන ඇදට වැ‍ටුනේ අද දවසේ උනේ මොනාද කියල කල්පනා කරන ගමන්... දොයියන්න කලින් මීටරේ බලද්දි කිලෝමීටර් 356ක්.. හම්..

මගෙන් වැරැද්දක් උනා ඒකට සමාවෙන්න.

හම්බුවෙලත් කතා බහ නොකරට තරහ ගන්ට එපා ඔන්න. කියන්නේ නැතුව ගියාටත් තරහ අවසර. ආවේ ඇයිද කියල විතරක් අහන්ට එපා.. මං තාම දන්නේ නෑ ඇයි කියලා...

හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

(මෙතුවක් කාලයක් රූල් දෙකතුනක් ටයිප් කරලා මකලා දාපු පෝස්ට් ගාන විස්සකට කිට්ටයි.. ඒත් එක දිගට මෙච්චර ටයිප් කරේ කොහොමද කියලා මටත් හිතා ගන්න අමාරුයි..)

මොනව උනත් ලෝකෙ වටේ ඉන්න කාණ්ඩෙ මේ විදියට එක්කාසු කරපු සංවිධායක මන්ඩලේ හැමෝටම රස්තියාදුකාරයාගේ ආචාරය..!

පොටෝව නිළ වෙබ් අඩවියෙන්..